හෝමුස් අසලදී විශාල තෙල් නැවකට ප‍්‍රහාරයක්.. මහා ගිනි ජාලාවක්..
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ‘GEM NO.2’ නමැති දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාව හඳුනානොගත් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයත් සමඟ නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර, ගල්ෆ් කලාපය පුරා නාවික ආරක්ෂක අවදානම යළිත් උත්සන්න වී තිබේ.
තායිවාන සමාගමක් විසින් මෙහෙයවනු ලබන, පැනමා ධජය රැගත් මෙම නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත්තේ එමීර් රාජ්‍යයේ අල් ජසීරා (Al Jazeera) වෙරළට නාවික සැතපුම් 13ක් පමණ බටහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදීය. නෞකාවේ හටගත් ගින්න පසුව මැඩපවත්වා ඇති නමුත්, ප්‍රහාරයෙන් සිදුවූ සමස්ත හානිය මෙතෙක් නිශ්චිතව තක්සේරු කර නොමැත.
බොරතෙල් බැරල් මිලියන දෙකක් පමණ ප්‍රවාහනය කිරීමේ ධාරිතාවකින් යුත් මෙම දැවැන්ත නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි තිබූ බොරතෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නොමැත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි යුදමය නොසන්සුන්තාවක් පවතින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අනවසර යැයි සැලකෙන මුහුදු මාර්ග භාවිත කරන නෞකා ඉලක්ක කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය මීට පෙර අනතුරු අඟවා තිබුණි.
කලාපයේ වෙනත් නෞකා කිහිපයකට එල්ල වූ ප්‍රහාරවල වගකීම ඔවුන් විසින් භාරගෙන තිබුණද, මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඉරාන හමුදා සෘජුවම සිටින බවට මෙතෙක් ස්වාධීන සාක්ෂි ලැබී නොමැත.
මෙම සිදුවීම මඟින් ගල්ෆ් කලාපය ඔස්සේ සිදුවන තෙල් ප්‍රවාහනයට සහ බලශක්ති අපනයනයට එල්ල වී ඇති බරපතළ තර්ජනය යළිත් මතු වී ඇති අතර, නාවික ගමනාගමනයට සිදුවන මෙවැනි බාධා කිරීම් දිගින් දිගටම පැවතුණහොත් එය ගෝලීය බොරතෙල් වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
හෝමුස් අසලදී විශාල තෙල් නැවකට ප‍්‍රහාරයක්.. මහා ගිනි ජාලාවක්..
2026-10-11T23:26:00+05:30
Gossip Lanka Hot News





