gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස් සිරමැදිරියේදී මියගිය තරුණයාගේ ගෙල කැඩිලා.. ඉළඇට බිඳිලා.. දරුණු තැලුම් තුවාල...- මරණ පරීක්‍ෂණ වාර්තාව

හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස් ලෙස මියගිය 29 හැවිරිදි තරුණයාගේ සිරුරේ ගෙල සහ ඉළඇට බිඳී ගොස් ඇති බවත්, හිසේ සිට පිට ප්‍රදේශය දක්වා දරුණු තැලුම් තුවාල හා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

හෝමාගම, මූණමල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර නැමැති මෙම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. 

කෙසේ වෙතත්, ඔහු පොලිස් සිරමැදිරිය තුළ වැටී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම සිදුවීම සමාජය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය.

මියගිය තරුණයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පැවැත්වූ අතර, මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා සිරුරේ අභ්‍යන්තර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

දේහය භාරගැනීම සඳහා රෝහල වෙත පැමිණි මියගිය තරුණයාගේ බිරිඳ සහ ඥාතීන් මාධ්‍ය හමුවේ දැඩි කම්පනයෙන් යුතුව අදහස් දක්වමින් කියා සිටියේ, පොලිස් නිලධාරීන් විසින් පෙරවරු කාලයේ සිට පැය ගණනාවක් මුළුල්ලේ සිය සොහොයුරාට අමානුෂික ලෙස පහර දුන් බවයි.

"එයාගේ බෙල්ල කැඩිලා, ඉළඇට කැඩිලා, ඇඟ පුරාම තැලුම් තුවාල තියෙනවා. පොලිසිය ඇතුළෙදි එයා කෑගගහා අඬද්දි අනුකම්පාවක් නැතුව ගැහුවා. මොන වැරැද්ද කළත් මනුස්සයෙක්ට මේ වගේ වධ දීලා මරන්න පොලිසියට අයිතියක් නෑ. මේ සාහසික අපරාධය කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරලා සාධාරණය ඉටු කරන්න," යැයි මියගිය අයගේ බිරිඳ හඬා වැටෙමින් ප්‍රකාශ කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ Youth for Change සංවිධානයේ ලේකම් ළහිරු වීරසේකර මහතා පෙන්වා දුන්නේ, සාමාන්‍ය පුරවැසියෙකු මෙවැනි පහරදීමක් සිදු කළේ නම් වහාම සිරගත කරන පසුබිමක, පුද්ගලයෙකු ඝාතනය කිරීමට සෘජුව වගකිවයුතු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පමණක් සීමා නොවිය යුතු බවයි. හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් තිදෙනා වහාම මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ අතර, සිද්ධිය වාර්තා වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. 

ඒ අනුව හෝමාගම අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පොලිසියද නීතියට යටත් විය යුතු බවත්, පසුගිය වසර දෙක තුළ පමණක් විනය විරෝධී ක්‍රියාවල නිරත වූ පොලිස් නිලධාරීන් 1,200කට අධික පිරිසකගේ වැඩ තහනම් කර ඇති අතර මෙම සිදුවීමේදී ද කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන බවත්ය.

මෙම අත්අඩංගුවේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය බලවත් කනස්සල්ල පළ කර තිබේ. රජයේ අත්අඩංගුවට පත්වන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය සහ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම රාජ්‍යයේ මූලික හා පැහැර හැරිය නොහැකි වගකීමක් බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටියි.

හිටපු නීතිඥ සංගම් සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පාලනයකින් තොරව අනවශ්‍ය බලතල ලබාදීමේ බරපතළ විපාක මෙම හෝමාගම සිදුවීමෙන් යළි තහවුරු වන බවයි. අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් නිරන්තර අධීක්ෂණයට හා දැඩි සංයමයකට යටත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

මෙරට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පහරදීම්වලින් මියයාම හෝ "ආයුධ පෙන්වීමට රැගෙන යාමේදී" ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව මීට පෙරද දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් බරපතළ අවධානය යොමු කර තිබූ පසුබිමක, හෝමාගම සිදුවීමත් සමඟ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාව යළිත් දැඩි ආන්දෝලනාත්මක මුහුණුවරක් ගෙන තිබේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka