මහර බන්ධනාගාරයේ ගැටුමක්.. ඇතුලේ වෙඩි හඬ ඇසේ...
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (17) සවස් කාලයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් මෙම තත්ත්වයට මුල් වී ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසී ඇති අතර, ඒ සමඟම බන්ධනාගාරය අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානයට කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසලට රැස්ව සිටිති.
තම ඥාතීන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසමින් ඔවුන් දැඩි ලෙස කලබලයට පත්ව සිටින අයුරු එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේය.
ඇතැම් ඥාතීන් හඬා වැටෙමින් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සාහ කළ ද, ආරක්ෂක අංශ විසින් එම උත්සාහයන් වළක්වාලනු ලැබීය.
මේ වන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අඛණ්ඩව කටයුතු කරමින් සිටී.
තුවාල ලැබූ රැඳවියන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මහර බන්ධනාගාරයේ ගැටුමක්.. ඇතුලේ වෙඩි හඬ ඇසේ...
2026-08-01T19:30:00+05:30
Lanka Hot News





