gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිමල්ගේ ලේකම් ඉල්ලා අස්වුණේ ඇමෙරිකා යන්නලු - මාස 8කට පසු ආයෙත් ලේකම්කම ගන්න එනවලු!

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පසුගිය සිකුරාදා (29) සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ප්‍රබල නඩු තීන්දුවකින් දින කිහිපයකට පසු මෙම ඉල්ලා අස්වීම සිදුවුව ද, අමාත්‍යාංශ නිලධාරීන් පවසන්නේ මෙම ඉල්ලා අස්වීම සහ අධිකරණ තීන්දුව අතර කිසිදු සන්නිවේදනයක් හෝ සම්බන්ධයක් නොමැති බවයි.

අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු උපුටා දක්වමින් Sunday Morning වාර්තා කර ඇත්තේ, මහාචාර්යවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ මාස 8ක අධ්‍යයන වැඩසටහනකට සම්බන්ධ වීමට නියමිතව තිබූ බැවින්, මෙය කලින් සැලසුම් කළ පෞද්ගලික තීරණයක් මත සිදුවූවක් බවයි.

ලේකම් ධුරය දිගුකාලීනව පුරප්පාඩු කර තැබිය නොහැකි බැවින් ඔහු ඉල්ලා අස්වීම් ලිපිය බාරදුන් බවත්, මාස 8කට පසු නැවත ලංකාවට පැමිණි පසු ඔහු නැවතත් ලේකම් ධුරයට පත්වීමට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

එතෙක් වැඩබලන ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.

මෙම ඉල්ලා අස්වීමට දින කිහිපයකට පෙර, එනම් මැයි මස 19 වැනිදා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළේ මහාචාර්ය කපිල පෙරේරා විසින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර, විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා ඊට එකඟතාව පළකළහ.

පෙත්සම්කරු වන සත්‍යානන්ද මහතා වසර 30කට ආසන්න සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලිපියක් මඟින් 2024 දෙසැම්බර් 18 වැනිදා ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත් කර තිබූ අතර, එදිනම ඔහු සේවයට වාර්තා කර ඇත.

එහෙත් ඔහු සේවයට වාර්තා කර පැය කිහිපයකින්, එනම් එදින දවල් 12.30 ට පමණ ඔහුගේ කාර්යාලයට පැමිණි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, “ඔබේ සේවය මෙම අමාත්‍යාංශයට අවශ්‍ය නැහැ, වහාම මෙතැනින් පිටව යන්න” යැයි පවසමින් තමන්ව පන්නා දැමූ බව සත්‍යානන්ද අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාව නිසා තමන් දැඩි මානසික පීඩාවකට හා අවමානයකට ලක්වූ බව පෙත්සම්කරු පෙන්වාදුන්නේය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ඔබේසේකර පෙන්වාදුන්නේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රීතිවලට අනුව අතිරේක ලේකම්වරයෙකු පත්කිරීමේ පරම අයිතිය පවතින්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණක් බවයි.

එමෙන්ම, එම කොමිසමේ තීරණවලට බලපෑම් කිරීම හෝ බාධා කිරීම වසර 7ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද එහි සඳහන් වේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන ලද නීත්‍යානුකූල පත්වීමකට මැදිහත් වීමෙන් අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ ආධිපත්‍යය බිඳදමා මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

රාජ්‍ය නිලධාරීන් යනු මහජන විශ්වාසයේ භාරකරුවන් මිස, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඇති අධීක්ෂණ බලය රාජ්‍ය සේවා කොමිසමේ ව්‍යවස්ථාපිත බලතල අභිබවා යාමට භාවිත කළ නොහැකි බවත්, මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka