gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීය පිරී ඉතිරුන සාමකාමී ජාතියක ගැඹුරු ආදර්ශය දුටුවෙමි… පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ “ඒහිපස්සිකෝ සාම පාද චාරිකාව” නිමා කරමින් කියති!

වර්ෂාව මැද අධික අවු රශ්මිය  මැද ශරීරයට මෙන්ම මනසට ද අභියෝගයක් වූ ගිනිගත් තාර පරාවල් අතර ඇවිද යද්දී පා දාහය  නිවන්නට පැන් ඉසිමින්, කෙසෙල් පත් අතුරමින්, මල් පාවඩ එළමින්  තමන් වහන්සේ ඇතුළුභික්ෂූන් වහන්සේට දැක්වූ අප්‍රමාණ ගෞරවයත්, ඒ  මග දෙපස රැඳී සිටි ආදරණීය මනුෂ්‍යයින්ගේ දයාද්‍ර සිනාවත් සාමකාමී ජාතියක ගැඹුරු ආදර්ශය දුටු බව    පූජ්‍ය වියට්නාමයේ  පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ  පැවසූහ.

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවති අවස්ථාවේ දී උත්වයේ විශේෂ අනුශාසනාව කරමින් උන්වහන්සේ  වදාළේ  පියවරින් පියවර නගරයෙන් නගරය පසු කරද්දී තමන් වහන්සේ අත් වින්දේ ශ්‍රී ලංකාව තුළ ජීවමාන වී ඇති මෛත්‍රියේ සහ දයාවේ ගැඹුර බවය.

සිය අනුශාසනාව අතර උන්වහන්සේ මෙසේ ද වදාළහ.

අද දින අප සැම එක්ව සිටින්නේ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත් වූ මෙම පාගමන සාර්ථකව නිමා කරන අවස්ථාවටයි. මෙය හුදෙක් ඔබේ දේශය හරහා ‌භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවයක්. පියවරෙන් පියවර, නගරයෙන් නගරය පසු කරද්දී, ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අප අත් දැක්කා.

අප වර්ෂාව මැද ඇවිද ගියා… දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියා…, ශරීරයට මෙන්ම මනසටද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියා… එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැත.  ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙන්.

අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබිණා.

ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දෙනවා. සාමකාමී ජාතියක් යනු මෙවැන්නක්. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තූතිය පුද කරනු ලබනවා.

අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමතියි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත්වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා තිබෙනවා.

සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් තිබෙනවා. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත්  වලංගුයි.

පළමුව,  සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුයි. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවැත්වූ විට බෙදීම් ආරම්භ වෙනවා.

දෙවනුව, එසේ රැස්වන විට සමගි සම්පන්නව රැස්විය යුතුයි. සමගියෙන් කටයුතු කළ යුතුයි. සමගියෙන් විසිර යා යුතුයි. රැස්වීම පමණක් ප්‍රමාණවත්  වන්නේ නෑ; අප එකිනෙකාට සලකන ආකාරයද  වැදගත් වෙනවා.

තෙවනුව, සාමකාමී ජාතියක් යුක්තියට සහ සදාචාර මූලධර්මයට ගරු කළ යුතුයි. ආවේගශීලී හෝ කිසිදු ජීවියෙකුට  හානිකරන  ක්‍රියා මගින් අක්‍රමිකතා ඇති නොකළ යුතුයි.

සිව්වනුව, ජීවන අත්දැකීම් සහ ප්‍රඥාව ඇති වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. වැඩිහිටියන් නොසලකා හරින සමාජයක වටිනාකම් ගිලිහී යනවා.

පස්වනුව, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂාව සහ ගෞරවය ඇති තැන ස්ථාවරභාවය සහ වර්ධනය පවතිනවා.

සයවනුව, ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතුයි. පූජනීය ස්ථාන, සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් ජාතියක අනන්‍යතාවේ නැංගුරම් වැනියි.

සත්වනුව,  සාරධාර්මික ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුයි. මන්ද, ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වය සහ සදාචාරය පවත්වා ගැනීමේ පදනමයි.

මෙම ගුණාංග සුරකින්නේ නම්, සාමය යනු අප හඹා යා යුතු දෙයක් නොවේ. එය අප ස්වභාවිකවම අත්විඳින දෙයක් බවට පත් වෙනවා.

එහෙත් අද මට මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට අවශ්‍යයයි. අප සෑම කෙනෙකුටම තමන්ගේ අභ්‍යන්තරිකව පවතින ලෝකයක් තිබෙනවා. මේ කය සහ මනස තුළ සීමා මායිම් තිබෙනවා.  ගැටුම් තිබෙනවා. එමෙන්ම සාමයද  තිබෙනවා. අපට අපගේ අභ්‍යන්තර ලෝකය ප්‍රඥාවෙන් පාලනය කළ නොහැකි නම්, බාහිර ලෝකය සාමකාමී වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ කෙසේද?

එබැවින් ඔබ ඔබෙන්ම අසන්න. මම මගේ සිතුවිලි දෙස සතිමත්භාවයෙන් බලනවාද? මම යහපත් දේට ගරු කර අයහපත් දේ මගහරිනවාද? මම මගේ අභ්‍යන්තරයේ  සහ වටපිටාවෙහි පවතින ප්‍රඥාවට සවන් දෙනවාද? මම කරුණාව සහ ඉවසීම පුරුදු කරනවාද? සෑම පුද්ගලයෙකුම තමා තුළ සාමය ඇති කර ගන්නේ නම්, පවුල් සාමකාමී වෙනවා. සමාජය සාමකාමී වෙනවා.  ජාතීන් සාමකාමී වෙනවා. එවිට මුළු ලෝකයම සාමකාමී  වෙනවා. සාමය ගොඩනැගෙන්නේ බාහිරින් ඇතුළට නොවෙයි… අභ්‍යන්තරයෙන් බාහිරටයි.

මෙම ගමනේදී අපි තනි වූයේ නැහැ. ඉතා සුවිශේෂී ජීවියෙකු අප සමඟ ඇවිද ගියා. ඒ “ආලෝකා” යි. ආලෝකාට අපේ භාෂාව කතා කිරීමට හඬක් නැහැ. එහෙත් ඔහු අප සැමට ඉතා ගැඹුරු යමක් සන්නිවේදනය කළා. මෛත්‍රිය කරුණාව සීමා නොවිය යුතු බව ඔහුගේ පැවැත්මෙන් අපට මතක් කර දුන්නා. එය සියලු සත්වයන් වෙත ව්‍යාප්ත විය යුතුයි. සමාජයක් සතුන්ට සලකන ආකාරය එම සමාජයේ මනුෂ්‍යත්වයේ ගැඹුර පිළිබිඹු කරනවා. ශ්‍රී ලංකාවේදී අප දුටු දේ සැබවින්ම දිරිගන්වන සුළුයි. මඟ දෙපසදී ආලෝකට සහ අනෙකුත් සතුන්ට පෙන්වූ ආදරය, රැකවරණය සහ කරුණාව අපගේ හදවතට බෙහෙවින් දැනුණා.

මෙය මෙම පා ගමනින් පමණක් අවසන් වීමට ඉඩ නොදෙන්න. එයට වර්ධනය වීමට ඉඩ දෙමු. සතුන් යනු භාණ්ඩ නොවන බවත්, ඔවුන් බිය, විශ්වාසය සහ හැඟීම් ඇති ජීවීන් බවත් යන අවබෝධය තවදුරටත් ශක්තිමත් කරගනිමු. ඔවුන් අපේ කරුණාව මත රඳා සිටිනවා… කුඩා හෝ වේවා විශාල හෝ වේවා සියලු සතුන් ඇතුළත් නොවන තාක් අපගේ මෛත්‍රිය සම්පූර්ණ  වෙන්නේ නෑ….

එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීම පිළිබඳව අපගේ ගෞරවනීය කෘතඥතාව පළ කරනවා.

මෙය හුදෙක් තෑග්ගක් පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන ජීවමාන ධර්ම පාලමක්. එසේම ඇමරිකාවේ “හං දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී සර්වඥ  ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීම පිළිබඳවද අපි කෘතඥ වෙනවා… මෙය දහස් ගණනකගේ සිත් සතන් පහන් කරන උතුම් පින්කමක්.

මෙම ත්‍යාගශීලී භාවය සහ විශ්වාසය වෙනුවෙන් මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමියටත්, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් අපගේ ගැඹුරු කෘතඥතාව පළ කර සිටිනවා. එමෙන්ම නාවික හමුදාවට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ ආරක්ෂක අංශවලටත්, කැපවීමෙන් කටයුතු කළ පශු වෛද්‍ය කණ්ඩායමට, වෛද්‍ය කණ්ඩායමට සහ මාධ්‍ය කණ්ඩායමටත් අපගේ ස්තූතිය හිමි වෙනවා…

පඤ්ඤාකර හිමියෝ වදාළහ.

-උපේක්ෂා උඩුවැරැල්ල 



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka