gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය වෙනුවෙන් බීජිං පාලනය වෙළඳ යුද්ධයක අවදානම ගනීවිද?

2026 අප්‍රේල් මස මැද භාගයේදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් ලබා දුන් දරුණුතම අනතුරු ඇඟවීම්වලින් එකක් නිකුත් කළේය. ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඉතා පැහැදිලිව තහවුරු කළේ, චීනය විසින් ඉරානයට මිලිටරි ආයුධ සපයන බවට හසු වුවහොත්, එක්සත් ජනපදය වෙත අපනයනය කරන සියලුම චීන භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% ක තීරුබදු පැනවීමට තමන් පියවර ගන්නා බවය.

උරහිස මත තබා වෙඩි තැබිය  හැකි ගුවන් යානා නාශක මිසයිල (MANPADS) සම්බන්ධ වාර්තා ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, “ඔවුන් එවැන්නක් කරන බව අපට හසු වුවහොත්, ඔවුන්ට 50% ක තීරුබදු පැනවෙනවා – එය ඇත්තෙන්ම දැවැන්ත මුදලක්,” යනුවෙනි.

මෙම තර්ජනය නිකුත් වූයේ නිකම්ම නොවේ. අප්‍රේල් 8 වැනිදා ට්‍රම්ප් මුලින්ම තම ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කළේ ඉරානය මිලිටරිමය වශයෙන් සන්නද්ධ කරන ඕනෑම රටකට කිසිදු නිදහස් කිරීමකින් හෝ නිදහස් දීමනාවකින් තොරව 50% ක තීරුබදු පැනවීමට සිදුවන බවය. එම අවස්ථාවේදී ඔහු රටවල් නම් කිරීමෙන් වැළකී සිටියද, එම පණිවිඩය ඉතා පැහැදිලි විය. ඉලක්කය වූයේ ඉරානයේ ප්‍රධාන අනුග්‍රාහකයින් වන චීනය සහ රුසියාවය.

දැන්, මූලාරම්භය සැඟවීම සඳහා වෙනත් තුන්වන පාර්ශවීය රටවල් හරහා චීනය විසින් ඉරානයට MANPADS මිසයිල යැවීමට සූදානම් වන බවට අලුත්ම අමෙරිකානු බුද්ධි අංශ වාර්තා (CNN සහ New York Times මගින් වාර්තා කර ඇති පරිදි) පලවීමත් සමඟ, ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සෘජුවම චීනය වෙත එල්ල කළේය.

මෙම අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස චීනය පත්වන්නේ ඇයි?
චීනය යනු ඉරානයේ සාමාන්‍ය වෙළඳ හවුල්කරුවෙකු නොවේ;  චීනය යනු  ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවාය. ටෙහෙරානය සමඟ වසර 25 ක දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක් චීනය විසින් පවත්වාගෙන යයි. බීජිං පාලනය   ඉරානයෙන් සහන මිලට තෙල් ලබා ගනී. (එය චීනයේ බලශක්ති ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ).  ඒ වෙනුවට ද්විත්ව භාවිත තාක්ෂණයන්, උපාංග සහ අතීතයේ සිටම ඉරානයේ මිසයිල සහ ගුවන් ආරක්ෂක වැඩසටහන් සඳහා අවශ්‍ය සහාය චීනයෙන් ටෙහාරානය වෙත ලබා දී ඇත.

අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ බීජිං පාලනය දැන් තම සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරමින් සිටින බවය. එනම්, පහත් මට්ටමින් පියාසර කරන ගුවන් යානා සඳහා දැඩි තර්ජනයක් විය හැකි, සැහැල්ලු සහ පහසුවෙන් ප්‍රවාහන හැකියාව සහිත MANPADS මිසයිල පද්ධති ටෙහෙරානයට ලබා දීමට චීනය සූදානම් වන බවය.

සති පහක් පුරා ඉරානයට එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඇති වූ සති දෙකක තාවකාලික සටන් විරාමය පවතින අතරතුර මෙලෙස යුධ පිටියට සෘජුවම අවශ්‍ය වන නිමි ආයුධ සැපයීම  ලෝකය තිගස්වා ඇත. දැනට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කරන පරිදි  චීනය මෙම නැව්ගත කිරීම් තමන් කළ බව ඔප්පු කළ නොහැකි වන පරිදි රහසිගතව සිදු කිරීමට උත්සාහ කර තිබේ. එම පියවර අනාවරණය වුවහොත් ට්‍රම්ප්ගේ තීරුබදු චීනයට එරෙහිව වහාම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

තවත් විශේෂත්වයක් වන්නේ, මෑතකදී ඇති වූ සටන් විරාමය සඳහා චීනය නිහඬ නමුත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමය. ඉරාන බලධාරීන් පමණක් නොව ට්‍රම්ප් පවා පිළිගත්තේ සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ටෙහෙරානයට බලපෑම් කිරීමට බීජිං පාලනය මැදිහත් වූ බවය. මෙයින් චීනය මුහුණ දී සිටින උභතෝකෝටිකය මනාව පැහැදිලි වේ. එක් අතකින් තමන්ගේ තෙල් ආනයනය සහ ‘ එකම තීරයක් – එකම මාවතක්’ (Belt and Road) වැඩසටහන සුරක්ෂිත කර ගැනීමට චීනයට මැදපෙරදිග ස්ථාවරත්වය අවශ්‍ය ය.  ඒ අතරම, තමන්ගේ උපායමාර්ගික හවුල්කරුවන්ට තර්ජනයක් එල්ල වන විට අමෙරිකානු පීඩනයට තමන් යටත් නොවන බව පෙන්වීමටද ඔවුන්ට අවශ්‍යය.

දැවැන්ත අවදානමක් සහිත උපායමාර්ගික ක්‍රීඩාව
ට්‍රම්ප්ට අනුව, තීරුබදු යනු ආර්ථික දඬුවමකට වඩා එහා ගිය උපායමාර්ගික මෙවලමකි. වෙළඳ දඬුවම් කෙලින්ම ඉරානයට ලබා දෙන මිලිටරි ආධාර සමඟ සම්බන්ධ කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන කරුණු කිහිපයකි

ඉරානයට තම ගුවන් ආරක්ෂක පද්ධති වේගයෙන් යළි ගොඩනැගීමට ඇති අවස්ථාව වැළැක්වීම.
මෙම ගැටුමට චීනය ගැඹුරින් මැදිහත් වීම වැළැක්වීම.
නව යුධමය ක්‍රියාමාර්ගයකට වහාම අවතීර්ණ නොවී බීජිං පාලනයට පීඩනය පවත්වා ගැනීම.
කෙසේ වෙතත්, විශ්ලේෂකයෝ  මෙහි ඇති අවදානම් ද පෙන්වා දෙති. චීන භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීම ගෝලීය සැපයුම් දාමයන් දරුණු ලෙස අඩාල කිරීමටත්, ලොව පුරා පාරිභෝගිකයින් සඳහා භාණ්ඩ මිල ඉහළ නැංවීමටත් හේතු වනු ඇත.  එයට බීජිං පාලනයෙන් ද ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇත. 2025 නොවැම්බර් සටන් විරාමයෙන් පසු මදක් ලිහිල් වූ අමෙරිකා-චීන වෙළඳ නොසන්සුන්තාවය මෙයින් යළිත් පුපුරා යා හැකිය.

“තීරුබදු යුද්ධයකින් ජයග්‍රාහකයින් නැත” යනුවෙන් පවසමින් සහ මැදපෙරදිග ආතතිය සමනය කරන ලෙස 
ඉල්ලමින් චීනය දැනටමත් මෙයට ප්‍රතිචාර දක්වා තිබේ.

ගෝලීය බලපෑම –  ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි තත්ත්වය

මෙම අර්බුදය උත්සන්න වුවහොත්:

තෙල් වෙළඳපොළ: හෝමූස් සමුද්‍ර සන්ධිය (චීනයේ සහ ආසියාවේ තෙල් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් ගලා යන මාර්ගය) අසල යළිත් ආතතියක් ඇති වුවහොත් ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

සැපයුම් දාම: ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඳුම් පැළඳුම්, යන්ත්‍ර සූත්‍ර ඇතුළු බොහෝ දේවල සැපයුම් දාමයන් අඩාල වන අතර එය අපනයනය මත පදනම් වූ ආර්ථිකයන්ට දැඩි ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකාවට බලපෑම: දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට, ඉන්ධන, වාහන සහ පාරිභෝගික භාණ්ඩ සඳහා ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. දිගුකාලීන අමෙරිකා-චීන වෙළඳ ගැටුමක් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී කළ හැකි අතර, අපගේ ප්‍රධාන අපනයන (තේ, ඇඟලුම්, සංචාරක කර්මාන්තය) සඳහා පවතින ඉල්ලුම අඩු කර ණය වාරික ගෙවීම තවදුරටත් දුෂ්කර කරනු ඇත.

සාරාංශයක් ලෙස, අමෙරිකා-ඉරාන-ඊශ්‍රායල කලාපීය ගැටුමක් ලෙස ආරම්භ වූ තත්ත්වය දැන් ලෝක සුපිරි බලවතුන් අතර ආර්ථික බල අරගලයක් දක්වා වර්ධනය වී ඇති අයුරු පෙනේ.  ට්‍රම්ප් විශ්වාස කරන්නේ දැවැන්ත තීරුබදු තර්ජනය හරහා චීනයට තම ඉරාන මිතුරා ආරක්ෂා කිරීම සහ ලාභදායී අමෙරිකානු වෙළඳපොළට ප්‍රවේශ වීම යන කරුණු දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කළ හැකි බවය.

චීනය පැත්තෙන් ගත් කල, බටහිර මත යැපීම අඩු කිරීමේ ඔවුන්ගේ දිගුකාලීන ඉලක්කය සහ මෙම ගැටුම උත්සන්න වුවහොත් විඳීමට සිදුවන ක්ෂණික පාඩුව යන කරුණු දෙක තුළනය කර බැලිය යුතුය.

මේ පසුබිම තුළ  ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇත. චීන ආයුධ නැව්ගත කිරීම් පිළිබඳ සාක්ෂි මතු වුවහොත් සහ තීරුබදු පැනවුවහොත්, ගෝලීය වෙළඳාම සහ ආරක්ෂාව පිළිබඳ නිර්වචන වෙනස් කරන  නව බල අරගලයක පරිච්ඡේදයක් අපට දැකගත හැකි වනු ඇත.

මෙය හුදෙක් ඉරානය හෝ තීරුබදු වලට ලඝු වන්නක් නොවේ. එය වඩ වඩාත් ආතති සහගත වන බහු-ධ්‍රැවීය ලෝකයක ආධිපත්‍ය සඳහා වූ අරගලයකි.    ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ට මෙහි සෘජු භූමිකාවක් නැත. එහෙත් ඔවුන්ට  මෙම ආර්ථික කම්පනයේ  දරුණු වේදනා අත් වීමට නියමිතය.

මේ පසුබිමේ දී අප වැනි රටකට  වැදගත්වන ප්‍රධානම කරුණ වනු ඇත්තේ  විචක්ෂණශීලී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ය. එම රාජ්‍ය තාන්ත්‍රික භාවයේ බුද්ධිමත් භාවිතය ය. එපමණය. ඉන් එපිට ඇත්තේ වෙන දේ බලාගෙන එන දේ භාර ගැනීමය.

-උපේක්ෂා උඩුවැරැල්ල
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka