gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ මිසයිල සංචිත 2/3ක් ඉතුරුයි - ඇමරිකා බුද්ධි අංශ වාර්තාවක්!

අමෙරිකාව සහ ඉස්රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාසයකට ආසන්න වෙමින් පවතින පසුබිමක, ඉරානයේ සතු දැවැන්ත මිසයිල අවි ගබඩාවෙන් විනාශ වී ඇති බවට ස්ථිරවම තහවුරු කළ හැක්කේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව අමෙරිකානු බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටමින් රොයිටර් පුවත් සේවය පවසයි.

අමෙරිකානු බුද්ධි තොරතුරු පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින් පස් දෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඉරානයේ මිසයිලවලින් තවත් තුනෙන් එකක ප්‍රමාණයක් බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වන්නට හෝ භූගත බංකර් තුළ වැළලී යන්නට ඇති බවට විශ්වාස කළ හැකි වුවද, ඒ පිළිබඳව නිශ්චිත දත්ත මෙතෙක් ලැබී නොමැති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරානය සතුව මේ වන විට ඉතිරිව ඇත්තේ "මිසයිල ඉතා සුළු ප්‍රමාණයක්" පමණක් බවයි. එහෙත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ ඉරානය සතුව තවමත් සැලකිය යුතු මිසයිල තොගයක් පවතින බවත්, සටන් විරාමයකින් පසුව භූගතව ඇති මිසයිල යළි ගොඩගෙන භාවිත කිරීමට ඔවුන්ට හැකියාව ඇති බවත්ය.

සමුද්‍රීය වෙළඳාම සඳහා ඉතා වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඉරාන මිසයිලවලින් 99%ක් විනාශ කළත් ඉතිරි වන 1% පවා අතිවිශාල නෞකාවකට දැවැන්ත හානියක් කිරීමට ප්‍රමාණවත් විය හැකි බැවින් එය පිළිගත නොහැකි බවයි.

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසන පරිදි, පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ "Epic Fury" මෙහෙයුම සැලසුම් කළ පරිදිම සාර්ථකව ක්‍රියාත්මක වේ.

පෙන්ටගනයට අනුව යුද්ධය ආරම්භයේ සිට ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව 90%කින් පමණ පහත වැටී ඇත. ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ නාවික නිෂ්පාදන පහසුකම්වලින් 66%කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇත. ඉරාන නාවික හමුදාව සතු විශාල යුද නැව්වලින් 92%ක්ම මුහුදුබත් කිරීමට අමෙරිකානු ප්‍රහාර සමත්ව තිබේ.

දැඩි ප්‍රහාර හමුවේ වුවද ඉරානය තවමත් සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා පමණක් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත බැලස්ටික් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 11ක් එල්ල කර ඇත. එමෙන්ම ඉරාන හමුදා ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පිහිටි අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුරක් වන දියාගෝ ගාර්ෂියා ඉලක්ක කර ගනිමින් දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉරානය සතු දැවැන්ත භූගත බංකර් පද්ධතිය හේතුවෙන් ඔවුන්ගේ සැබෑ යුද ශක්තිය තක්සේරු කිරීම අතිශය දුෂ්කර වී ඇති බවයි. ඉස්රායල හමුදා නිලධාරීන්ට අනුව, යුද්ධයට පෙර ඉරානය සතුව ඉස්රායලය වෙත ළඟා විය හැකි බැලස්ටික් මිසයිල 2,500ක් පමණ තිබී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka