බුදු පිළිමයක් තැබුවාට භික්ෂූන් සිරගත කිරීම ශාසනික අපරාධයක් ! පොලිසිය නීතිය නවලා : දේශපාලන අරමුණින් ශාසනයට වින කරලා! මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්!
ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය බලවත් කනස්සල්ල පළ කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් මහානායක හිමියන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදු කළ මහා අපරාධයක් බවයි.
බෝධිරාජ විහාරස්ථානය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාට නෛතික අයිතියක් ඇති බවත්, දැනටමත් එහි බෝධීන් වහන්සේ නමක් රෝපණය කර වන්දනාමාන කටයුතු සිදු කරන බවත් උන්වහන්සේ සඳහන් කරති.
සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ලේ පාදම මත කුඩා බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත්, පවතින පාදමක් මත සිදු කරන ප්‍රතිසංස්කරණ “අලුත් ඉදිකිරීම්” ලෙස හුවාදැක්වීම අනුවණ ක්‍රියාවක් බවත් නාහිමියෝ අවධාරණය කරති.
විහාරස්ථානයට එරෙහිව කටයුතු කරන්නේ ප්‍රදේශවාසීන් නොව දේශපාලන අරමුණු සහිත මන්ත්‍රීවරයකු බවත්, පොලිසිය නීතිපති උපදෙස් පවා නොතකා අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බවත් එහි සඳහන් වේ.
“අතීත රජවරුන් නව වරක් බුදු සසුනට පූජා කළ මේ පින්බිමේ, භික්ෂූන් වහන්සේලා අභූත චෝදනා මත සිරගත කිරීම බරපතල තත්ත්වයක්,” යැයි මහානායක හිමියෝ පවසති.
එබැවින් වහාම රජය මැදිහත් වී අත්අඩංගුවේ පසුවන භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ පුවත තව අයට බලන්න
බුදු පිළිමයක් තැබුවාට භික්ෂූන් සිරගත කිරීම ශාසනික අපරාධයක් ! පොලිසිය නීතිය නවලා : දේශපාලන අරමුණින් ශාසනයට වින කරලා! මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්!
2026-02-11T06:47:00+05:30
Gossip Lanka Hot News





