සියළුම මොඩියුලවලින් Link ඉවත් කරනවා... සිසුන් ඇගයීම් App එකකින් - අගමැතිනි
මින් ඉදිරියට සැකසෙන දෙවන සහ තෙවන පාසල් වාරයන්ට අදාළ Modules සඳහා කිසිදු ශ්‍රේණියකට අදාළ වන පරිදි අන්තර්ජාල සබැඳි (Links) ඇතුළත් නොකිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලය විසින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මූල්‍ය විනිවිදභාවය සහ තාක්ෂණික භාවිතය දැනට පවතින මොඩියුල සඳහා යොදාගෙන ඇති බාහිර මූලාශ්‍ර සහ වෙබ් අඩවි වෙනුවෙන් කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරන බවත්, රජයේ වෙබ් අඩවි භාවිත කිරීම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හෝ වගකීම් දැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගින බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
එමෙන්ම, ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශ මාලාවක් කාර්ය සාධක බලකායක් මගින් මේ වන විටත් සම්පාදනය කර ඇති අතර, එය ඉදිරියේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ගුරු පුහුණුව සහ ආපදා බාධා මෙම නව අධ්‍යාපන ක්‍රියාවලිය හරහා ජාතික අධ්‍යාපන ආයතනය කිසිදු මූල්‍යමය වාසියක් අපේක්ෂා නොකරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගෙන් 92% ක් පමණ දැනටමත් මේ සඳහා පුහුණු කර අවසන් බව පැවසුවාය.
කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මගහැරී ගිය ප්‍රදේශවල ගුරුවරුන් සඳහා පළමු සහ හයවන ශ්‍රේණිවල නව පාසල් වාරය ආරම්භ වීමට පෙර අදාළ පුහුණුව ලබාදීමට රජය සූදානම්ව සිටියි.
අන්තර්ජාලයෙන් තොර ඉගැන්වීම් සහ ඉදිරි පියවර පවතින ඉගෙනුම් මොඩියුලවලට අදාළ සියලුම විෂය කරුණු ගුරු අත්පොතෙහිම අන්තර්ගත බැවින්, අන්තර්ජාලය අනිවාර්ය මෙවලමක් නොවන බවත් එය හුදෙක් සහායක මෙවලමක් පමණක් බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය. එබැවින් ගුරුවරුන්ට වෙබ් යෙදවුම්වලින් තොරව වුවද ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට බාධාවක් නැත.
සිසුන් ඇගයීමේ කටයුතු ඉදිරියේදී පරිගණක යෙදවුමක් ඔස්සේ සිදු කිරීමට නියමිතය. ගුරුවරුන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය සඳහා 2025 වසරේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීමට අවශ්‍ය සියලු පියවර ඉදිරියේදී ගන්නා බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ 2026 වසරේදී 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව මොඩියුල 106ක් භාෂා ත්‍රිත්වයෙන්ම මේ වන විට මුද්‍රණය කර අවසන් බවත්, ඒවා 2026 ජනවාරි 21 වන විට දිවයිනේ සියලුම පාසල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවත්ය.
ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් රුපියල් මිලියන 1600ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඩිජිටල් උපාංග නොමැති පාසල් 2498ක් සඳහා සුහුරු පුවරු (Smart Boards) සහ පරිගණක යන්ත්‍ර 2026 පෙබරවාරි වන විට ලබා දීමට නියමිතය.
දැනට අන්තර්ජාල පහසුකම් නොමැති ද්විතීක පාසල් 1873 සඳහා 2026 මාර්තු වන විට එම පහසුකම් ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ පරිගණක, අන්තර්ජාලය හෝ විදුලිය වැනි භෞතික පහසුකම් 2026 වසරේදී මෙම නව ප්‍රතිපත්තිය ආරම්භ කිරීමට බාධාවක් නොවන බවයි
සියළුම මොඩියුලවලින් Link ඉවත් කරනවා... සිසුන් ඇගයීම් App එකකින් - අගමැතිනි
2026-01-09T16:05:00+05:30
Gossip Lanka Hot News






