සැත්කම්වලට ලක්වන රෝගීන්ට දෙන එන්නතක් තහනම්
ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක් වන Ondesterone එන්නත විෂ වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) රෝගියකු සංකූලතාවට ලක්වී මිය ගිය බවට සැලකෙන සිද්ධියක් මුල්කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පියවර ගෙන තිබේ.
අදාළ එන්නත ලබාගත් මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ද ඇතිවූ සංකූලතා මත මිය ගිය බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් යන අතර ඒ පිළිබඳව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්තගෙන් ‘‘අරුණ’’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ එන්නත ගත් රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තා වී නැති බවයි.
මේ අතර රෝගීන් නිර්වින්දනය කළ පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීම සඳහා මෙම එන්නත රෝගීන්ට ලබාදෙන බව වෛද්‍යවරු කියා සිටිති.
මීට අමතරව ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට වමනය ඇති වන අවස්ථාවලදීත් මෙම එන්නත ලබා දෙන අතර සැත්කම්වලට ලක් කරන රෝගීන්ට ද මෙය ලබාදෙන බව වෛද්‍යවරු පවසති.
මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. එම්. ජී. කේ. බණ්ඩාරගේ අත්සනින් නිකුත් කර ඇති NMR/PA3/ADR 04/2025 දරන ලිපිය ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ අදාළ එන්නත ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.
ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (Indian Phamcopeia) හෙවත් IP ප්‍රමිතිය යටතේ මෙරටට අදාළ ඖෂධය ගෙන එන බවත් ඒවා මෙරට දී යළි පරීක්ෂාවට ලක් නොකරන බවත් වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම එන්නත ලබාදීමෙන් පසුව යම් කිසි සංකූලතාවක් මත එම රෝගියා මියගොස් ඇති බවයි. තවද එම මරණය මෙම එන්නත් නිසා ඇති වූ මරණයක් ද යන්න පිළිබඳව සහතිකව කිව නොහැකි බවද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම Ondansetron VSP 8 mg/A ml (Ondanman 8) එන්නත රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියාවේ ලියාපදිංචි සමාගම්වලින් කෙළින්ම මෙරටට ඖෂධ ගෙන්වීමට වත්මන් රජය තීරණය කළ බවත් එලෙස ගෙන්වන ඖෂධ මෙරටදී පරීක්ෂා නොකරන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය
ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (indian Pharmacopeia) ලියාපදිංචි ඖෂධ මෙරටට ගෙන ඒමෙන් පසු මෙරට දී එම ඖෂධ පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
-aruna
සැත්කම්වලට ලක්වන රෝගීන්ට දෙන එන්නතක් තහනම්
2025-12-15T10:30:00+05:30
Gossip Lanka Hot News






