gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඳුනා ගන්න බැරි තරමට තමන්ගේ රූපය වෙනස් වූ හැටි ඉෂාරා සෙව්වන්දි කියයි…

ගණේමුල්ල සංජීව  ඝාතන සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව හරහා නේපාලයට පලා ගිය ඉෂාරා සෙව්වන්දි තමන්ගේ රූපය සම්බන්ධව දැඩි උනන්දුවක් දක්වන්නට පෙළඹී ඇත්තේ නේපාලයේ දි බවත් මුදල් හදල් යහමින් ගැවසීම සහ කාලය ගෙවා ගැනීමට සුදුසුම ක්‍රමයක් ලෙස රූපලාවන්‍යාගාර සොයා යෑම සිදුකළ බවත් ඇය පවසා තිබේ.

මුහුණට ලැබෙන සත්කාර හේතුවෙන් සිදුවන වෙනස දකිත්ම තමන් රූපලාවන්‍ය කටයුතු සඳහා ඇබ්බැහි වූ බවත්, තමන්ටත් සිතා ගත නොහැකි තරම්  ඉක්මනින් රූපය වෙනස් වෙමින් හඳුනාගත නොහැකි තරමට වෙනස් වන්නේ මේ මාස කීපය තුළ ලැබුණු සත්කාර හේතුවෙන් බවත් ඇය අනාවරණය කර ඇත.  නේපාලයට යනතුරුම ඇය සිය රූපය ගැන උනන්දුවක් දක්වා නැති බව පවසා තිබේ.

නේපාලයේදී අත් අඩංගුවට ගෙන ‍‍ මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම රටේ පැවති අවස්ථාවේදී බව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

පොලීසිය මැතිවරණ රාජකාරිවල නිරතව කාර්යබහුලව සිටින බැවින් වෙනත් කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැන්නීමට යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා ‍ මේ කාලය තුළ මතුගමත්, මාතරත්, වවුනියාවේත් ස්ථාන කිහිපයකම රැඳී සිටි බවය. යාපනයෙන් ඇය ධීවර බෝට්ටුවක නංවාගෙන ඉන්දියාවට රැගෙන යන්නේ කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායිගේ මෙහෙයවීම මතය. මේ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

ඉන්දියාවට ඇය ගොඩබැසීමෙන් අනතුරුව ඇයට මාසයක පමණ කාලයක් එහි ගතකිරීමට සිදුව ඇත. ඒ කාලය තුළ ඇයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් ලෙසිනි.   ඇයව රැගෙන යන්නේ ජූනි මාසයේදීය. දින හය හතක් තිස්සේ දුම්රියේත්, බස් රථවලත්, කුලී රථවලත් නංවාගෙන ඇයව නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉන්දියානු මිනිස් ජාවාරම්කරුවෙක්   විසිනි.

දේශ සීමා හරහා නේපාලයට රැගෙන ආ පසු ඇයව නේපාලයේදී භාරගැනීමට තවත් තැරැව්කරුවෙක්  දේශසීමාවට පැමිණ සිට ඇත.

ඉෂාරා සෙව්වන්දිව නේපාල දේශසීමාවේදී එරට තැරැව්කරුවන් විසින් භාරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නාතුරුම රැඳී සිට ඇත්තේ නේපාලයේය. ඇයට එහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳහිට ඇයගේ සැප දුක බැලීමට ඩුබායි සිට නේපාලයට පැමිණ  ඇති බව ද සඳහන්ය.

නේපාලයේ තරුණ කැරැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේ දියත්වන විට  ඇය සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීම සිදුවූ භක්තපූර්හිය. ඇය රැඳී සිටි ප්‍ර‍දේශයේ උද්ඝෝෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු වී නොමැති බවත් ඒ නිසා ගැටලුවක් නොමැතිව රැඳී සිටීමට හැකි වූ බවත් ඇය පවසා තිබේ.

ඇය නේපාලයේ ද ස්ථාන කිහිපයකම නවාතැන් ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. භක්තපූර් වෙත ඇයව රැගෙන යන්නේ ද තරුණ කැරැල්ල අතරතුරදීය.

ඉෂාරා පද්මේ වෙනුවෙක් කළ දේ
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ ‍‍ කෙ‍ෙහල්බද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබරවාරි 19 වැනිදා තමා අලුත්කඩේ අධිකරණයට ගිය බවය. වෙඩික්කරුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමඟ එදා අලුත්කඩේ අධිකරණයට ගියේ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා බව දැනගෙනම බවත්  ඇය පවසා තිබේ. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැනුණ බව ද ඇය පවසා ඇත.

ගිනි අවිය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 05 අධිකරණයට ගණේමුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධිකරණ ශාලාවට යන ලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් කළ දැනුම්දීමට අනුව වෙඩික්කරුත් සමඟ තමා දෙවැනි මහලේ තිබුණු අංක 05 අධිකරණ ශාලාව වෙත ගිය බව ද ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීතිඥයන් ‍ ලෙස ‍ පෙ‍ෙනන ආකාරයට හැඳ පැලඳගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසිවකුත් සැක නොකළ බව ද ඇය පවසා ඇත.

ඇය පවසා ඇති ආකාරයට වෙඩික්කරු රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව තුළය. ඇය රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව ඉදිරිපිට බැල්කනි කොටසේය. එහි සිට තමා අධිකරණයට ඇතුළුවන ගේට්ටුව දෙස බලා සිටි බව ද ඇය පවසා ඇත. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව ගණේමුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩික්කරුට කතාකර පොත ඇතුළේ සඟවාගෙන සිටි ගිනිඅවිය ඔහු අතට පත්කළ බව ද ඇය පවසා තිබේ.

ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාවට රැගෙන එන විට තමා පහළ මහලට ගොස් නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ මඳක් රැඳී සිටි බව ද ඇය පවසා ඇත. ගිනිඅවිය සඟවා ගෙන රැගෙන ආ දණ්ඩ නීති සංග්‍රහය එහි දමා යෑමට කිසිදු වුවමනාවක් නොතිබුණත් වෙඩි හඬ ඇසීමත් සමඟ තමා කලබල වූ බැවින් එය රැගෙන යෑමට අමතක වූ බව ද ඇය පවසා ඇත.

පොලිස් අත් අඩංගුවට පත් වෙතැයි සිතුවේ නෑ…
තමාව කිසි දිනක පොලීසිය මඟින් අත්අඩංගුවට ගනීවි යැයි විශ්වාසයක් නොතිබුණු බව ද ඇය පවසා ති‍බේ. නේපාල‍‍යේ සිට තමාව මුරුසියට රැ‍ගෙන යන බව ‍ ජේ.‍ කේ. බායි පැවසූ බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ති‍බේ. ඊට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍ර පවා සකස් කර ඇතත් මුරුසියට පැන යන්නට පෙර ඇයව හසුවන්නේ සති 06ක පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ‍ ලෙසිනි.

එම මෙහෙයුමේ කොටසක් මෙරට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට   ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවා තිබිනි. පසුගිය 11 වැනිදා නේපාලයට යන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා   මෙහෙයුම අවසන් කරමින් ඉෂාරා සෙව්වන්දිට අමතරව තවත් 05 දෙනෙක්ම රැගෙන මෙරටට එන්නේ පෙරේදා (15) ය.

ඒ අතර සිටින 26 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි, ඇ‍‍ගේ රුවට සමාන බව කියන යාපනය, චාවකච්‍චේරිය, වඩුවිල් උතුරු ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි නන්ද කුමාර තක්ෂි, එම කාන්තාවගේ සමීපතමයෙක් බව කියන 36 හැවිරිදි බී.පී.කෙනඩි නොහොත් සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපාලයේ දී රැකවරණය දුන් මිනිස් ජාවාරම්කරුවකු වන යාපනය පලෙයිහි පදිංචිකරුවකු වන 33 හැවිරිදි කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායි විමර්ශන සඳහා භාර දෙන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙතය.

බෙම්මුල්ලේ පදිංචිකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයේ කොටස්කරු‍වක් බවට හඳුනාගත් 44 හැවිරිදි නිශාන්ත කුමාර නො‍හොත් ‘බබා’ නමැත්තා විමර්ශන කටයුතු සඳහා භාර දෙන්නේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයටය. නුගේගොඩ, ජම්බුගස්මුල්ලේ පදිංචිකරු‍වකු වූ 49 හැවිරිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් ‘බබී’ භාර කෙ‍රෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙතය.

මේ සියලු දෙනාම ඉන්දියාවේ සිට නේපාලයට නීති විරෝධිව ඇතුළු වී ඇත්තේ මෙම වසරේය. මේ අය අතර වැඩිම කාලයක් නේපාලයේ රැඳී සිට ඇතැයි අනාවරණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි.

මෙම සැකකරුවන් 06 දෙනාගෙන්ම පොලීසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වමින් සිටියි. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අවස්ථාව දක්වාම ඇයට රැකවරණය දුන් පුද්ගලයන් සහ ස්ථාන ද හඳුනා ගැනීමට ද පොලීසිය දැඩි උනන්දුවකින් පසු‍‍‍වෙයි. ඒ සඳහා වැඩි කාලයක් මේ පිරිස රඳවා ගැනීම පොලීසියේ අපේක්ෂාවයි. එහි ප්‍රථම පියවර ලෙස පැයට 72ක කාලයක් මේ සියලුදෙනාම රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ පොලීසියට අධිකරණ‍‍යෙන් අවසර ලැබී තිබිණි. 

( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka