gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිස්ස අත්තනායකගෙන් මාලිමාවට මිලියන 100ක පරිත්‍යාගයක්?

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති අපහාස නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 02 වන දින කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

අග්‍රාමාත්‍යවරිය මෙම නඩුව ගොනු කර ඇත්තේ, තිස්ස අත්තනායක මහතා විසින් සිදුකරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට බරපතල හානියක් සිදු වූ බවට චෝදනා කරමින්, ඒ සඳහා වන්දියක් ලෙස රුපියල් මිලියන 100ක මුදලක් ඉල්ලා සිටිමිනි.

මෙම නඩුවට පාදක වී ඇත්තේ, “ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත්, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවතා දැමීමට කටයුතු කරනු ඇතැයි” හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළ බවට, තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමයි.

එවැනි ප්‍රකාශයක් තමන් කිසිදිනක සිදුකර නොමැති බවත්, එම අසත්‍ය ප්‍රකාශය මගින් සිය කීර්තියට සහ දේශපාලන ප්‍රතිරූපයට දැඩි අපහාසයක් සිදු වූ බවත් අග්‍රාමාත්‍යවරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

මෙම නඩුව ඊයේ (28) දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, වගඋත්තරකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට මූලික විරෝධතා ගොනු කිරීමද විශේෂ සිදුවීමක් විය.

ඒ අනුව, දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අධිකරණය මෙලෙස දින නියම කළේය.

මේ අතර, නඩු කටයුත්ත සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා, මෙම නඩුවේ තවදුරටත් ඔප්පු කිරීමට කිසිවක් ඉතිරිව නොමැති බව ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසුව, ශ්‍රී දළදා පෙරහැර පෙරටත් වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම තුළින්ම, තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ද්වේශ සහගත එකක් බවට මේ වන විටත් ප්‍රායෝගිකවම සනාථ කර අවසන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තිස්ස අත්තනායක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති උත්තර ප්‍රකාශය, “යන්නේ කොහෙද මල්ලේ පොල්” යන කියමනට සමාන, කිසිදු නීතිමය තර්කයකින් තොර පිළිතුරක් බවටද වටගල මහතා චෝදනා කළේය. එම උත්තර ප්‍රකාශයේ, “තමා එවැනි අපහාසයක් සිදු කළේ නම්, හරිනි අමරසූරිය මෙනවිය කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ කෙසේද” යනුවෙන් අදාළ නොවන තර්කයක් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී, තිස්ස අත්තනායක මහතාට විශේෂ දැනුම් දීමක් කරමින් සුනිල් වටගල මහතා කියා සිටියේ, ඔහුට මෙම නඩුව කිසිසේත්ම ඔප්පු කිරීමට නොහැකි වනු ඇති බැවින්, ඉල්ලා ඇති රුපියල් මිලියන 100ක මුදල ලෑස්ති කරගන්නා ලෙසයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka