දිවයින පුරා බොහෝ මාතෘ සහ ළමා රෝහල් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේදී දැඩි හිගයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි. මේ හේතුව නිසා ත්‍රිපෝස ලබාදීම සිදුකරන්නේ යකඩ ඌනතාවයෙන් පෙළෙන මවරුන් සහ, බර අඩු ගර්භනී මවුවරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට පමණක් බවද ඔහු පවසයි.
දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන අතර අදාළ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බව පැවසුවද මේ දක්වා අදාල සටහන ආරම්භ කිරීමට රජය අසමත් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ සමාගම පසුගියදා ජනාධිපතිවරයාට විශේෂ ලෙසත් නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට පත් කරනු ලැබීය.
සමාගම විකිණීමට යම් කුමන්ත්‍රණයක් පවතින බවට සෞඛ්‍ය වෘත්තිය සමති පසුගියදා චෝදනා කල අතර මේ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වු ත්‍රිපෝෂ සමාගම ගලවා ඉවත්කොට වෙළඳ අමාත්‍යංශය යටතට පත්කලෙ කුමන පදනමක් යටතේද යන්න රජය පැහැදිලි කළ යුතු බවද ඔහු සඳහන් කළේය.