වර්ෂ 2026ට අදාලව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපති වැය ශීර්ෂය 2025 වර්ෂයට සාපේක්ෂව වියදම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් එය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩිවීමක් බවත් බීබීසී වාර්තා කරයි. වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත විසින් පසුගිය සැප්තැම්බර් 26 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වැය ශීර්ෂ ඉහළ යෑම සලකුණු වී තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය. ඒ අනුව 2025 වසර සඳහා ජනාධිපති වැය ශීර්ෂය රුපියල් බිලියන 2.9ක් විය. එම කපාහැරීම තියුණුව පෙනුනේ 2024 වර්ෂයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති වැය ශීර්ෂය රුපියල් බිලියන 6.6 ක් වීම නිසාය.
කෙසේ වෙතත් වර්ෂ 2026 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 11.37ක් තෙක් ඉහළ අගයක් ගෙන තිබේ. බීබීසී වාර්තාව පෙන්වා දෙන්නේ එය 2024 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැය ශීර්ෂයට වඩා සියයට 72ක ඉහළ අගයක් ගන්නා බවය.
2024 වර්ෂයේ අගමැති වැය ශීර්ෂය රුපියල් බිලියන 1.15ක් වූ අතර 2025 වර්ෂයේ දී අගමැතිනියගේ වැය ශීර්ෂය ඊට වඩා බිලියන 0.02කින් වැඩි වී තිබිණි. එම මුදල රුපියල් බිලියන 1.17කි. 2026 වසරේ දී 2025ට සාපේක්ෂව අගමැති වැය ශීර්ෂය අඩු වී ඇති අතර එය රුපියල් බිලියන 0.975කි.