අනුරාධපුර දිස්ත්රික්කයේ පොහොට්ටු නායකයන් වන සේමසිංහලා, චන්ද්රසේනලා පොහොට්ටුව මෙන්ම බැසිල් බාප්පා අතහැර දමා ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්රික්කයේ පැවැති ජනහමුවකට එක් වෙමින් හිටපු මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.
තමන් ගමේ බයියෙක් වන අතර බයියකුගේ කතාව මහාචාර්යවරයකු මෙන් නොවන බවත් තමාගේ කතාව කිසිවකුට තහංචි දමා නැවැත්විය නොහැකි බවත් ඒ මහතා කීවේය.
හම්බන්තොටින් ප්රාදේශීය සභාව නියෝජනය කරමින්, මොනරාගලින් පළාත් සභාව නියෝජනය කරමින්, බදුල්ලෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමන්ට අනුරාධපුර දිස්ත්රික්කය භාර දුන්නේ පොහොට්ටුවේ අහිංසක ජනතාව වෙනුවෙන් බව තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටියේය.
එම නිසා පක්ෂයේ ජයග්රහණය වෙනුවෙන් පක්ෂයේ ඕනෑම කෙනෙක් සමඟ සටන් කරන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
“වැඩිය මුකුත් කියන්න බැහැ, මටත් ලියුම් ගහනවා. ඒ නිසා පරිස්සමින් කතා කරන්න කියලා, දැනුම් දීලා තියෙනවා. ඒක නම් කරන්න බැහැ. තිස්ස කුට්ටිආරච්චි කියන්නේ ගමේ බයියනේ. බයියා කතා කරන්නේ ගමට. මට හොඳට සරම් කමිස ඇඳලා, වෙල් ඉපනැල්ලේ පිනුම් ගහලා, කැත්ත උදැල්ලේ වැඩ අරගෙන, වී හුළං කරලා, බැත හදලා, වී මිටි පිටේ තියන් පුරුදුයි.
මම හම්බ කළේ මත්තල, හම්බන්තොට, ලුණුගම්වෙහෙරෙයි. ඒ නිසා මගේ කතාව මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ කතාව වගේ වෙන්න බැහැනේ. ඒකට තමයි මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්නේ. මේ තිස්ස කුට්ටිආරච්චිගේ කතාව කිසිම කෙනකුට තහංචි දමා නවත්වන්න බැහැ.
රාජපක්ෂලා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න තිස්ස කුට්ටිආරච්චි කිසි දවසක පැකිළෙන්නෙ නැහැ. ඒක තමයි නාමල් රාජපක්ෂ තිස්ස කුට්ටිආරච්චිව අතින් අල්ලලා අනුරාධපුරයට ගෙනවිත් අතඇරියේ. හම්බන්තොටින් ප්රාදේශීය සභාව නියෝජනය කරමින් මොනරාගලින් පළාත් සභාව නියෝජනය කරමින් බදුල්ලෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මම ඇයි අනුරාධපුරයට එව්වේ.
අනුරාධපුරේ බාප්පාත් එක්ක හිටපු චන්ද්රෙස්නලා, සේමසිංහලා පොහොට්ටුවට ගේමක් දීලා ගියා. නාමල් රාජපක්ෂ එක්ක කෝපි බිව්ව සේමසිංහත් අපට ගේමක් දීලා ගියා. හැත්ත බුරුත්තම ගියා. ඒ වෙලේ තමයි තිස්ස කුට්ටිආරච්චිට මේක භාර දුන්නේ. මේ අහිංසක ජනතාව පමණයි ඉන්නෙ නාමල් රාජපක්ෂගේ 2029 කැම්පේන් එක කරන්න. උන්දැල කියන විදිහට මම ඡන්ද කඩන්න ආවේ නැහැ.” යනුවෙන් ද පැවසීය.