හාමුදුරුවරුන් ආපු ඩක්කුව කෑලි පහ හයකට කැඩිලා විසිවෙලා තියෙනවා දැක්කා. ඒකේ වහලය ගැලවිලා අඩි පණහක් විතර ඈතට විසිවෙලා තිබුණා. හෙළට බැස්සට පස්සේ අපට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා. මොකද හැම තැනම සිවුරු කෑලි තුවාල වුණු හාමුදුරුවරු, ඒත් අපි පැය භාගයක් යන්න ඉස්සර වෙලා.
හාමුදුරුවරුන් හෙළෙන් උඩට ගත්තා යැයි ආරණ්‍ය සේනාසනය අසල පදිංචිකරුවකු වන අසංක ඥානරත්න මහතා ලංකාදීපයට පැවසීය. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සියගම, නාඋයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ගමන් ගත් විදුලි ඩක්කුව කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර පිළිබඳ ඥාණරත්න මහතා මෙසේද පැවැසීය.
අපේ ගෙදර තියෙන්නේ ආරණ්‍යයේ ඉදලා මීටර් සීයක් විතර දුරින්. ඒ වෙලාවේ අපි රෑට කෑම කාලා රූපවාහිනිය බලමින් හිටියා. ඒක පාරටම ආරණ්‍යයේ ගෙඩිය එක දිගටම ගහනවා ඇහුණා. සාමාන්‍යයෙන් දාන වෙලාවට ඇර වෙනත් වෙලාවට ගෙඩිය ගහන්නේ කරදරයක් සිදුවුණු වෙලාවට කියලා අපි දන්නවා. ඒ නිසා මම ඉක්මනට ටෝච් එකත් අරන් ආරණ්‍යයට දුවගෙන ගියා. ඒතකොට ගමේ අයත් ටික දෙනෙක් දුවගෙන ආවා. හාමුදුරුවරුත් කලබලෙන් දුවනවා දැක්කා. රෑ කළුවර හින්දා හරියට කිසි දෙයක් හොයා ගන්න අමාරුයි. එක හිමිනමක් මට කිව්වා කරදරයක් වෙලා ඉක්මනට ඩක්කුව තියෙන තැනට යන්න කියලා. මම එතැනට දුවගෙන ගියා. එතැන හාමුදුරුවරුන් කීප දෙනෙක් වැටිලා හිටියා දැක්කා. තව හාමුදුරුවරුන් හෙළට වැටිලා ඉන්නවා කියලා කවුදෝ කීවා. ඉතිං ගස් අස්සේ මොකුත් හරියට පේන්නේ නෑ අනික හෙළ අඩි සියක් එකසිය පනහක් විතර යටයි. ඒත් අපි කීප දෙනෙක් බැස්සා. හැම තැනම සිවුරු කෑලි විසි වෙලා තියෙනවා දැක්කා. ගස්වල අතු වලත් සිවුරු රැඳීලා තිබුණා.
අපි යද්දි හත් දෙනෙක් විතර හාමුදුරුවරුන් වැටිලා ඉන්නවා දැක්කා. ඒ අයගේ අතපය කැඩිලා. තුවාල වෙලා. අපි අමාරුවෙන් හාමුදුරුවරුන් උඩට ගන්න කටයුතු කළා. මම දැක්ක විදිහට නම් හාමුදුරුවරුන් දෙනමක් විතරයි අතපය හරි හෙළෙව්වේ. ඇත්තටම හෙළ නිසා උඩට ගන්න හරිම අමාරු වුණා. අපි පස් හය දෙනෙක් එකතු වෙලා තමයි එක්කෙනෙක් උඩට ගත්තේ. ඒත් මගට යද්දි ආයෙත් නගින්න බැරි තැන් වලින් උඩ ඉන්න අයට ලෙඩ්ල් දුන්නා. ඒ අය ඉක්මනින් අරන් ගිහිල්ලා වාහනවල දාලා රෝහල්වලට යැව්වා. මුළුමහත් ප්‍රදේශයක්, රටක් කම්පාවට පත් කළ
මෙම බිහිසුණු අනතුරෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වූහ. අපවත් වූ භික්ෂුන් වහන්සේලා අතර සිව් දෙනෙක් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා වූ අතර ඉතිරි භික්ෂුන් වහන්සේලා තුන් නම විදේශීය භික්ෂුන් වහන්සේලා වූහ. බරපතළ තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා සිව් නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ඩක්කුව ගමන් ආරම්භ කරන පහළ ස්ථානයේ සිට ගමනාන්තය වන කඳු මුදුනට මීටර් 850 ක පමණ දුරක් ඇති අතර ගමනාන්තයට ළඟා වීමට මීටර් 20 - 30 පමණ ආසන්නව තිබිය දී මෙම ඛේදවාචකයට භික්ෂූන් වහන්සේලා මුහුණ පා ඇත. මෙම ඩක්කුව බිමට සවි කළ යකඩ පීලි දෙකක් මත ඉහළින් රැඳවූ කේබලයක ආධාරයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවේ දී ඇති වූ තාක්ෂණික දෝෂය හේතුවෙන් ඩක්කුව රඳවා ඇති කේබලය කැඩී ඇති අතර එම නිසා පාලනය ගිලිහි ඩක්කුව අධික වේගයෙන් පහළට පැමිණ ඇත. මෙසේ අධික වේගයෙන් පැමිණි ඩක්කුව ගමන ආරම්භ කරන ස්ථානයේ ඇති කොන්ක්‍රීට් කණු ආදියෙහි ගැටී කැබලි කිහිපයකට කැඩී එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේලා ඉහළින් විසිවී ගොස් අඩි 150 - 200 ක පමණ ප්‍රපාතයකට වැටී ඇත. කෙසේ හෝ භික්ෂූන් වහන්සේලා දෙනමක් ආරම්භයේ දී ඩක්කුවෙන් පිටතට පැන ගැනීමට සමත් වී ඇති අතර ඉන් එක් හිමිනමකට කිසිදු තුවාලයක් සිදු නොවී ඇති අතර අනෙක් හිමිනම සුළු තුවාල ලබා ඇතැයි පැවසේ. උඩවලවේ සංඛසුමන හිමි, මල්වානේගම සමීන්ධ හිමි, නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සී හිමි, රුමේනියාවේ ධම්මරංසි හිමි, රුසියාවේ ධම්මරක්ඛිත හිමි හා ඉන්දියාවේ ධම්මගවේසී හිමි යන භික්ෂූන් වහන්සේලා අනතුරින් අපවත් වූහ.
අතපය කැඩී බරපතළ තුවාල ලබා හා අපවත්වී සිටි පිරිස බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර අවට පදිංචිකරුවන් හා පසුදා දාන ලබා දීමට පැමිණ එහි නවාතැන්ගෙන සිටි පිරිස්ද වහා අනතුර සිදු වූ ස්ථානයට පැමිණ භික්ෂූන් වහන්සේලා ප්‍රපාතයෙන් ගොඩ ගෙන රෝහල කරා යැවීමට කටයුතු කර ඇත. ඒ අතර ඊයේ උදෑසන රජයේ රස පරික්ෂකවරයා පැමිණ මෙම අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිය නිලධාරින් මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති අගුල්ගමුවේ අරියනන්ද හිමියෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.
භාවනා වැඩසටහනක් අවසන් වෙලා ඊයේ රාත්‍රියේ 9.30 ට විතර කඳු මුදුනේ කුටිවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් මේ කේබල් ඩක්කුවෙන් තමන්ගේ කුටිවලට ගිහින් තියෙනවා. අවසාන කණ්ඩායම ඒ කියන්නේ තුන්වැනි කණ්ඩායම ගමන් කරද්දී තමයි විදුලි ඩක්කුවේ යම්කිසි දෝෂයක් ඇති වෙලා මේ අනතුර වෙලා තියෙන්නේ. අනතුර සිදුවූ වහාම එහි පැමිණ අනතුරට පත් භික්ෂූන් වහන්සේලා බෙරා ගැනීමට කටයුතු කළ කිහිප දෙනකු සිය අත්දැකීම් අප හා විස්තර කළේ මෙසේය. ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පසුදා දානයක් දීමට පැමිණි ගලේවෙල, කොස්පොත ඒ.ජී. චින්තක කැලුම් හේමසිරි මහතා ඒ දින රාත්‍රි කාලයේ නාඋයන ආරණ්‍යය සේනාසනයේ නේවාසිකව සිට ඇත. ඔහු සිය අත්දැකීම විස්තර කළේ මෙසේය. අපි ගමේ කට්ටියක් දානයක් වෙන් කරගෙන එය දෙන්න ඇවිත් හිටියේ. අපි රෑ කෑම කාලා ශාලාවේ එළියේ වාඩි වෙලා කතා කර කර හිටියා. ඒ වෙලාව රෑ 9.30 විතර වෙන්න ඇති. අපට එක පාරටම අහුණා නිකම් බ්ලොක් ගල් ලෝඩ් එකක් ටිපර් එකකින් බානවා වගේ. විනාඩියක් දෙකක් ඒ සද්දේ ඇහුණා. ඊට විනාඩි තුන හතරකට විතර පස්සේ ආරණ්‍යයේ ගෙඩිය ගහනවා ඇහුණා. අපි හිතුවා මොනවා හරි කරදරයක් තමයි කියලා. අපි කට්ටිය දුවගෙන ගියා. ඒ එක්කම ගමේ අහල පහළ අයත් දුවගෙන ආවා.
හාමුදුරුවරුත් ගොඩක් ඇවිල්ලා හිටියා. අපටත් කිව්වා ඩක්කුව වැටිලා ඉක්මනින් එතෙන්ට යන්න කියලා. අපිත් දුවගෙන ගියා. ඩක්කුව ආරම්භ කරන තැන හාමුදුරුවරු තුන් දෙනෙක් වැටිලා ඉන්නවා දැක්කා. ඩක්කුව පටන් ගන්න තැනින් අඩි සීයක විතර යට කට්ටිය කෑ ගහන්වා ඇහුණා. ඒ මේ අය බේරා ගන්න ගිය අය. තද කළුවර නිසා කිසි දෙයක් හරියට පෙනුණේ නෑ- කොහොම හරි මමත් තවත් දෙතුන් දෙනකුත් අමාරුවෙන් ප්‍රපාතයට බැස්සා. බැහැලා ටෝච් ගහ ගහ බැලුවා. හැම තැනම සිවුරු කෑලි- හාමුදුරුවරු තැන් තැන්වල වැටිලා හිටියා දැක්කා. අපි දෙතුන් දෙනා එකතු වෙලා ඒ අය උස්සා ගෙන උඩට ආවා. සමහර තැන් වලදී අපිත් ඒ අය උස්සගෙනම වැටුණා. ඊට පස්සේ ආයෙත් නැගිටලා කෑ ගහලා අනික් අයගේ උදව් ඉල්ලලා කොහොම හරි කට්ටිය උඩට ගෙනාවා. මුලින්ම හාමුදුරුවරුන් කීප දෙනෙක් දාගෙන අපි ආපු ලොරිය තමයි රෝහලට ගියේ. ඊට පස්සේ තවත් කට්ටිය තම තමන්ට තියෙන ලොරි, ත්‍රීවිල්, වෑන් වගේ හැම එකක්ම අරන් ආවා. ගේන ගේන අය අරන් රෝහල්වලට යැව්වා. ආරණ්‍ය සේනාසනයට මීටර් දෙසීයක් පමණ දුරින් පදිංචිව සිටින පී.ඩී. විමලදාස මහතා මුහුණදුන් අත්දැකීම ඔහු විස්තර කළේ මෙසේය. එක දිගට ආරණ්‍යයේ ගෙඩිය ගහපු නිසා මමත් ටෝච් එක අරන් දුවගෙන ගියා. ඩක්කුව අනතුරට පත්වෙලා කියලා දැන ගත්තා. මේ ඩක්කුව ධාවනය කරන මාර්ගය විශාල බෑවුමක් ඒ නිසා අක්‍රීය වුණු ඩක්කුව හිතා ගන්න බැරි තරම් වේගයෙන් පහළට එන්න ඇති. ඩක්කුව පටන් ගන්න තැනින් පහළ තියෙන්නේ අඩි එකසිය පනහක දෙසීයක විතර ප්‍රපාතයක්. ඩක්කුව පටන් ගන්න තැන තියෙන කොන්ක්‍රීට් කණුවල ඒක හැප්පිලා ඩක්කුව කෑලි කීපයකට කැඩිලා වීසි වෙලා තිබුණා.
ඒ එක්කම ඒකේ එන අය උඩින් වීසි වෙලා අඩි සීයක් විතර දුරට ගිහින් තියෙනවා. ඒ නිසා ඒ අය ගන්න ගොඩාක් අමාරු වුණා. ඒත් අවට අය සීයක් දෙසීයක් විතර වහාම ඇවිල්ලා විනාඩි තිහක් වගේ කාලයක් ඇතුළත කට්ටිය ඔක්කොම උඩට අරන් රෝහල්වලට යවන්න කටයුතු කළා. ඒත් කළුවර නිසා අපට සැකයි. ඩක්කුවේ කී දෙනෙක් ආවද කියන්න දන්නේ නෑනේ. ඒ නිසා අපි තවත් පැයක් දෙකක් ඒ අවට හැම තැනම හෙව්වා. ඇත්තටම මේ ඩක්කුව නිතර නිතර හොඳ තත්වයක තියෙනවද කියලා සොයා බලන්න ඕනෑ. තව ඒකක් මේකට නග්ගන්න පුළුවන් උපරිම ගණන කීයද කියලත් හරි තක්සේරුවක් තියා ගන්න ඕනෑ. මොකද මේක ධාවනය කරන්නේ තද බෑවුම් සහිත ස්ථානයක. ඒ නිසා මෙතන ලොකු අවදානමක් තියෙනවා. භික්ෂූන් වහන්සේලාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා හෝ ඉරිදා යන දින දෙකින් එකකදී සිදු කිරිමට කටයුතු කරන බවද නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති අගුල්ගමුවේ අරියනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. අක්කර 1130 පමණ භූමි භාගයක කිරිවැල්හින්න හා හුළංදෙඩුව යන කඳු අරා පැතිර ඇති මෙම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ 185 ක් පමණ වැඩ සිටිති. ඒ අතරින් යුරෝපය, ඇමෙරිකාව, ආසියාවේ විවිධ රටවලින් මෙහි පැමිණ වැඩ වාසය කරන භික්ෂූන් පිරිස 60 ක් පමණ වෙති.
(චාන්දනි දිසානායක)