කොළඹ මහාධිකරණයේදී පාතාල නායකයෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, අපරාධකරුවෙකුට නීතිඥවරියකගේ වෙස් ගෙන පිස්තෝලයක් පොත් අතර සඟවාගෙන ගෙනවිත් දුන්නේ යැයි කියන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සොයා පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අනුව, ඇය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සැඟවී සිටින බව හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්ම නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, ඇය තවමත් ශ්‍රී ලංකාවේ සැඟවී සිටින්නේද යන්න පිළිබඳවද විමර්ශන කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
ඩුබායි හි ඇය සිටින බව තහවුරු කරගත් පසු, ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.
මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකපිට ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයෙකු මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටියහ.
රිමාන්ඩ් බාරයේ සිටියදී, ඇයගේ මවට පිළිකා රෝගයක් වැළඳී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.