සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයාගත් ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරයි.
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙම තොරතුර තහවුරු කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට සපයන ලද දත්ත අසත්‍ය බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් 2015 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් මිලියන 343,909ක ආදායමක් උපයා ඇති බවත්, ඒ සඳහා රජයෙන් කිසිදු මූල්‍ය ආයෝජනයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පසුගිය අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට වැරදි තොරතුරු සපයා ඇති බවයි.
අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයේදී දශමස්ථාන වැරදීමකින් මඟ හැරීම නිසා සංඛ්‍යාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් වූවාද යන්න පිළිබඳව මේ වන විට රජය තුළ කසුකුසුවක් පැතිරෙමින් පවතී. මන්ද, අමාත්‍ය සමරසිංහ මහතා පසු දින ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ සංඛ්‍යාවන්ගේ දශමස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය සමාන වීමයි.