වෙනත් පක්ෂයක පාපිස්සටවත් නොගන්නා අය ජාතික ජන බලවේගයට එකතු කරගත් බවට ජනාධිපති අනුර දිසානායක සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සත්‍යයක් බව ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබල ආධාකරුවෙකු වූ කැකිරාවේ සුදස්සන හිමි පවසයි.
කිසිදු දේශපාලන හැදෑරීමක් නොමැතිව රැල්ලට පාර්ලිමේන්තුවට ගසා ගෙන ආ මාලිමාණ්ඩුවේ මන්ත්‍රීවරුන් ජල කරාමයක් විවෘත කිරීම, පාරේ වළකට ගල් තාච්චියක් දැමීම, ටයර් බෙදීම වැනි ග්‍රාම සංවර්ධන සමිතියක් කළ යුතු කටයුතු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවට ද සුදස්සන හිමි චෝදනා කරයි.
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් චාමර සම්පත් අමරසූරියට දොස් තැබුව ද ව්‍යවහාරික දේශපාලනය තුළ ඔහු මාලිමා මැති ඇමතිවරුන්ට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටින බව ද එහිමියන් සඳහන් කරයි.
මාලිමා නායකයන් විපක්ෂයේ සිටිය දී රටට කී රාජපක්ෂලා උගන්ඩාවට ගෙන ගිය ඩොලර් බිලියන 18, නාමල් බේබිගේ ලැම්බෝගිනි 18, චිචීගේ බල්ලාගේ පවුම් 90 රත්තරන් දම්වැල ආදීය ගැන දැන් නීතිය ක්‍රියාත්මක වන බවක් දැකගත නොහැකි බවත් අලුත් අත්හදා බැලීමකට ගොස් තමන් ද එම බොරුවලට රැවටුණු බවත් සුද්දසන හිමි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් එහිමියන් මේ බව කීය.