පසුගිය දා නිධන් හෑරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ බිරිඳ ඇතුලු 08දෙනා පොලිස් භාරයට පත්වූ අවස්ථාවේදී අදාළ නියෝජ්‍ය පොලිස්පති සැමියා ද අනුරාධපුරයේ රැඳී සිට ඇති බවට විමර්ශනවලින් මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙනවා.
පොලිස් සටහන් අනුව අනුරාධපුරයේ කිරි ආහාර පූජාවක් සඳහා යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ඒ් සඳහා පසුගිය 13 වෙනිදා කොළඹ සිට අනුරාධපුරයට යාමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට ඉහළින් ඇති නිලධාරීන්ගෙන් අවසරය ලබාගෙන තිබේ.
කෙසේවෙතත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගන්නා උත්සවයට සහභාගි වීමට තමා අනිවාර්යයෙන්ම පැමිණෙන බවද ඔහු සිය උසස් නිලධාරීන්ට පවසා ඇති බව සඳහන්.
අලුයම 5.00ට කිරිආහාර පූජාවක් ලබාදුන්නද, ඒම පූජා කටයුතු අවසන්ව අලුයම 5.30ට අනුරාධපුරයෙන් කොළඹ බලා පිටත් වුවත්, කොළඹට ඒමට පැය 03කට වැඩි කාලයක් අවම වශයෙන් ගතවෙනු ඇති.
පොලිස් මූලස්ථානයේ පැවැති පොලිස්පතිවරයා වැඩ භාරගැනීමේ උත්සවයේ කටයුතු ආරම්භවන්නේ උදෑසන 7.00 පමණ වන අතර, පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට පැමිණෙන්නේ උදෑසන 7.30ට පමණය.
කිරිආහාර පූජාවත් සැබෑ ලෙසම ලබාදී මේ වේලාවට ඔහුට අනුරාධපුරයේ සිට කොළඹ පැමිණීමට හැකියාවක් තිබේදැයි මේ වන විට පොලිසියේ ඉහළ නිලධාරීන් අතර කථාබහක්ද පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
එහෙත් ඔහු සිය බිරිඳ අනුරාධපුර පොලිසිය මගින් 14 වෙනිදා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස්පති වැඩ භාරගන්නා උත්සවයටද පැමිණ සිට තිබෙනවා.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ කිරි ආහාර පූජාවකට යැයි කියා ඉහළ නිලධාරීන්ට පවසා 13 වෙනිදා රාත්‍රී කාලයේ අනුරාධපුරය බලා ගොස් ඇතත් බිරිඳ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිට ඇත්තේ නැහැ.
බිරිඳ හා සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිය බිරිඳ බේරාගැනීමට ඔහු අනුරාධපුරයේ පොලිස් ප්‍රධානියෙකුට දුරකථන ඇමතුමක් දී බලපෑමක් කර ඇති බව සඳහන් වන අතර, ඒ් සම්බන්ධයෙන් විමර්ශනයක්ද මේ වන විට ආරම්භකර තිබෙනවා.