අගමැතිනියගේ පෙරගමන් රාජකාරියේ යොදවා තිබූ අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත යතුරුපැදියක් අනතුරට ලක්කළ බව කියන 17 හැවිරිදි සිසුවකු ඇහැළියගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයක් සඳහා අගමැතිනි හරිනි අමරසූරිය පසුගිය 15 වැනිදා රත්නපුර දක්වා පැමිණ තිබෙන අතර අගමැතිවරියගේ පෙර ගමන් රථයක් වශයෙන් පොලිස් යතුරුපැදියක් ද ධාවනය කර ඇත.
එම පෙරගමන් රථය ඇහැළියගොඩ මෝරගල ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී අනතුරට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අනතුර සිදුකළ යතුරුපැදියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
එම යතුරුපැදියේ රියැදුරු ඇහැළියගොඩ ප්‍රදේශයේම පදිංචි සිසුවෙකි. ඔහුට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති අතර, අනතුරට ලක්කළ යතුරුපැදියද ලියාපදිංචි කර නැතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම යතුරුපැදිය මිලදී ගෙන දින දෙකක් පමණ වන බවත් එහි ලියාපදිංචි කටයුතු සිදුව නැති බවත් ඇහැලියගොඩ පොලිසිය සඳහන් කළේය.
ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අනතුරට සිදුකළ යතුරුපැදියේ රියැදුරු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.
වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම හා ලියාපදිංචියකින් තොරව වාහන පැදවීම යන චෝදනා මත සැකකාර සිසුවාට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිසිය පැවැසීය.
නයෝමි කරුණාසිංහ
Aruna