සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළ බව කියන සිදුවීමක් සම්බන්ධව පුලුල් විමර්ශනයක් කරන බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
මෙම දුරකථන ඇමතුම් සිද්ධිය දිගහැරෙන්නේ කෙහෙල් බද්දර පද්මේගේ සමීපතමයෙක් බවට අනාවරණය වූ ගම්පහ දේවා (39) නැමති අපරාධකරු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ ඒකකයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පෙළගැසෙන සිද්ධි දාමය තුළය.
ගුවන්තොටුපල අපරාධ වමර්ශන ඒකකය ගම්පහ දේවා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දීමෙන් පසු එම නිලධාරින් මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක් පරීක්ෂා කර තිබිණි.
පොලිසිය පැවසුවේ එහි තිබී ටී 56 උණ්ඩ 09ක් සහ හෙරොයින් ග්‍රෑම් 440ක් හමු වු බවය.
ඒ අවස්ථාවේ දී කෙහෙල්බද්දර පද්මේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වාට දුරකථනයෙන් කතා කර ප්‍රකාශ කරන්නේ දරුවන් ද සිටින බැවින් ප්‍රවේශම් වෙන ලෙසය. ඊට ලින්ටන් සිල්වා ලබා දෙන ප්‍රතිචාරත් සමග මේ ඇමතුම දැන් සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
මෙම ඇමතුම පිළිබඳව පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
අත් අඩංගුවට ගත් ගම්පහ දේවා මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත.