gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා!

වෙඩි තිබ්බේ ‘ඩුබායි අමිත’ගේ ඕඩරයකට

පොලිස් නිලධාරීන් බව පවසා දෑත්වලට මාංචු දමා තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී පෙරේදා (30 වැනිදා) රාත්‍රි මහමග දණ ගස්සවා එක් තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට වෙඩි තබා තුවාල කර ඇත්තේ “ඩුබායි අමිත” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාතාල කුලී ඝාතකයන් පිරිසකට ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඩුබායි අමිත ඇතුළු සහචරයන් විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදුන් බව කියමින් මෙම තරුණයා ඝාතනය කර ඇති බවද අනාවරණය වී තිබේ.

කුලී ඝාතකයන් විසින් මරා දමන ලද තරුණයාගේ වැඩිමහල් සොහොයුරා ද ඝාතනය කිරීමට උත්සාහ කර ඇතත් ඔහු ඔවුන්ගෙන් මිදී පලා ගොස් දිවි ගලවාගෙන ඇති බව කහවත්ත පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමන්ත සුරන්ජන නමැති 22 හැවිරිදි තරුණයෙකි. කුලී ඝාතකයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව පාදයකට සිදුවූ තුවාල හේතුවෙන් කහවත්ත රෝහලට ඇතුළත් කළ තරුණයා ඝාතනයට ලක්වූ තරුණයාගේ සමීප මිතුරෙකි.

ඝාතනයට ලක්වූ තරුණයා මැණික් පතල්වල රැකියාව කරන අයෙකි. ඩුබායි අමිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් රත්නපුරය කහවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවකට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම මහාපරිමාණයෙන් කරගෙන යන බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම්කරුවන්ගෙන් කීපදෙනකු මීට මාස කීපයකට පෙර කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුහු මේ වනවිටත් බන්ධනාගාරගත කර සිටිති.

මෙම වැටලීම සඳහා පොලිසියට ඔත්තු ලබා දුන්නේ පෙරේදා රාත්‍රියේ ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ සොහොයුරා බව කියමින් ඩුබායි අමිත් ඔවුන්ට දිගින් දිගටම දුරකථනයෙන් කතා කර මරණීය තර්ජනය කර ඇත.

ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ සොහොයුරා පෙරේදා රාත්‍රි සිය මිතුරා වන ප්‍රසාද් මධුසංකගේ නිවස වෙත පැමිණ තිබේ. ඔවුන් තිදෙනා නිවස පිටුපස දුම්පානය කරමින් සිටියදී රාත්‍රි 9.45 ට පමණ ජීප් රථයක් පැමිණ ඇත.

තමන් කහවත්ත පොලිසියෙන් බව පවසමින් එහි කඩාවැදුණු පුද්ගලයන් 06 දෙනකු මෙම තරුණයන් තිදෙනා අල්ලාගෙන තිබේ.

ඒ අවස්ථාවේ ඝාතනයට ලක්වූ තරුණයාගේ වැඩිමහල් සොහොයුරා එම ස්ථානයෙන් පැන දිවගොස් දිවි ගලවාගෙන ඇත.

“තොපි කුඩු බිස්නස් කරනවා. කහවත්තෙ පොලිසියේ ඕඅයිසී මහත්තයා තමයි අපිව එව්වෙ තොපි අල්ලගෙන එන්න කියලා. ඒ නිසා කලබල නොකර ජීප් එකට නැගපියව්” කියමින් එසේ පැමිණි පුද්ගලයන් තරුණයන් ජීප් රථයට දමාගෙන තිබේ.

තරුණයන් දෙදෙනා එකට සිටුවා ඔවුන්ට එක් මාංචුවක් දැමූ සන්නද්ධ පිරිස ජීප් රථය කහවත්ත කලංසූරියගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. එහිදී ජීප් රථයෙන් බිමට බැස්සවූ තරුණයන් දෙදෙනා මහමග දණ ගස්සවා එක් තරුණයකුගේ හිසට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇත.

පසුව අනෙක් තරුණයාගේ පාදයකට වෙඩි තබා බරපතළ තුවාල කළ කුලී ඝාතකයන් ජීප් රථයේ නැග පලා ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් පසුව එම ස්ථානය වෙත පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මාංචු දමා එකට අමුණා සිටි ඝාතනයට ලක්වූ තරුණයාගේ මාංචුව කපා දමා අනෙක් තරුණයා මුදාගෙන ඔහුව කහවත්ත රෝහලට යැවීමට කටයුතු කර ඇත. කුලී ඝාතකයන් මෙම තරුණයන් දෙදෙනා පැහැරගෙන යද්දී දුරකථනයෙන් ඩුබායි අමිතට කතා කර වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඝාතනයට ලක්වූ තරුණයා ඔහුට පෙන්වා ඇත.

එහිදී ඩුබායි අමිත “ඌ තමයි මිනිහා” යනුවෙන් පවසා ඇති අතර එම හඳුනා ගැනීමෙන් අනතුරුව කුලී ඝාතකයන් 22 හැවිරිදි තරුණයා පමණක් ඝාතනය කර තිබේ. ඔත්තු ලබාදීමට සම්බන්ධ නැති තරුණයාගේ පාදයකට වෙඩි තබා තුවාල කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. පලාගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මව වන රේණුකා මනතුංග මහත්මිය මෙසේ කීවාය. මාගේ කොල්ලෝ දෙන්නාම මරන්නයි මේ පිරිස හැදුවේ. නිවුන්නු දෙන්නාගෙන් කෙනෙක් පැන ගොස් සැඟවුණ නිසා එක් කෙනෙක් බේරුණා. ජංගම කහවත්ත පොලිසියට මේ මත්කුඩු ප්‍රශ්නය ගැන අපි කියා තිබුණත් කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට මාගේ දරුවෙක් නැතිවුණා. කහවත්ත පොලිසිය මාගේ දරුවාගේ මරණයට වගකිව යුතුයි.

දැන් සමහරු මාගේ මියගිය පුතාට අපහාස කරනවා එයා කුඩුවලට සම්බන්ධ බවට. අනේ ඒ අපහාසය නම් කරන්න එපා. පුතා කිව්වේ කුඩු නිසා ගම විනාශ වෙනවා කියලා. හොඳට ඉගෙන ගත්ත, ක්‍රීඩාවට දක්‍ෂ පුතා පොලිසියේ රැකියාවකට යෑමට උත්සාහ කළා. එයාට සහතික මිටි ගණන් තිබෙනවා. දැන්වත් මාගේ පුතාට සාධාරණය ඉටුකරන්න යැයි තරුණයාගේ මව හඬා වැටෙමින් කියා සිටියාය.

තරුණයන් දෙදෙනා රැගෙන ගිය පිරිස එම නිවසේ ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් තිබේ. තරුණයා ඝාතනය කිරීමට පෙර පාර අයිනේ දණ ගස්සවා තිබූ සලකුණු ද දක්නට තිබූ අතර වෙඩි තැබීමෙන් පසුව අඩි දහයක් දුරට රුධිරය ගලාගෙන ගොස් තිබිණි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන,
කහවත්ත – එල්. නිරෝෂණ, රක්වාන – ගයාන් තිලකරත්න
- divaina
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka