පසුගිය 30 වන දා කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන “මීගොඩ අමිත්” විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා රත්නපුර විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජීනි මස 30 වනදා රාත්‍රී නවයට පමණ, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි අවිගත් කණ්ඩායමක්, පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන (22) නමැති තරුණයා සහ ඔහුගේ මිතුරෙකු ඔවුන්ගේ නිවසේ සිටියදී පැහැරගෙන ගොස් තිබේ.
ඝාතකයින් පැමිණි බවට සැකකෙරෙන ජිප් රථය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, එහි අංක තහඩු ව්‍යාජ ඒවා බවට පොලීසිය විශ්වාස කරයි. මෙම රථය අපරාධයෙන් පසු කිරිඇල්ල පොලිස් මාර්ග බාධකය හරහා පළා ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇත.
මෙම පැහැරගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක කෙරේ. ඝාතනයට ලක්වූ ඉමන්ත, ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කළ අයෙකු බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
නමැති පුද්ගලයා විසින් මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවට ප්‍රබල සැකයක් මතු වී තිබේ. මීගොඩ අමිත්, ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතියෙකු වන අතර, දෙපාර්ශවය අතර පවුල් ආරවුලක් ද පැවති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඝාතනයට ලක්වූ ඉමන්තගේ මව වන රේණුකා මනතුංග මහත්මිය පවසන්නේ, තම පුතුන් දෙදෙනාම ඝාතනය කිරීමට අපරාධකරුවන් සැලසුම් කර තිබූ බවත්, නිවුන් සොහොයුරා සැඟවී සිටීම නිසා ඔහුගේ ජීවිතය බේරුණු බවත්ය.
තම පුතා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇය, ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරයි.
කෙසේ වෙතත්, පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හෝ තර්ජන එල්ලවීම් ගැන පවුලේ අයගෙන් පැමිණිල්ලක් ලැබී නොතිබූ බවයි.
පැහැරගත් තරුණයන් දෙදෙනාගේ අත්වලට මාංචු දමා, කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි ඇන්දාන-කහවත්ත මාර්ගයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් ඉමන්ත සුරන්ජනට වෙඩි තබා තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අනෙක් 26 හැවිරිදි තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇත. අපරාධය සිදු වූ ස්ථානයේ, තරුණයා දණ ගැස්සවූ බවට සලකුණු තිබී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු රුධිරය අඩි දහයක් පමණ දුරට විහිදී ගොස් තිබිණි.
ඉමන්ත සුරන්ජනගේ අවසන් කටයුතු ජූලි 03 වන දා සිදු කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවට චෝදනා කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ගැටුමක් ඇතිවිය.
එහිදී පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල වූ අතර, තත්ත්වය පාලනය කිරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු විය. මෙම සිදුවීම් මාලාවත් සමග, ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන විදේශගත පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රිරෝද රථයක් ද ගිනි තබා විනාශ කර තිබිණි.
ප්‍රජාවගේ දැඩි විරෝධය හමුවේ, කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය දිස්ත්‍රික්කයට ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.
එම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අදාළ ස්ථාන මාරුව ලබා දීම සඳහා හේතු වී ඇත්තේ, අදාළ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මීගොඩ අමිත නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සමීප සබඳතා පවත්වන බවට තරුණයාගේ ඥාතීන් විසින් චෝදනා කිරීමත්, වසර 3 කට අධික කාලයක් කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමත් මෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමත් ය.
මේ අතර, ඝාතනයට චෝදනා ලබන විදේශගතව සිටින පුද්ගලයාගේ බිරිඳ වන, මියගිය තරුණයාගේ ඥාති කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇයගේ ආරක්ෂාව සලකා පොලිස් භාරයේ රඳවාගෙන සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.