කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ යන්ත්‍රය පසුගිය මැයි මස 20 වෙනිදා සිට අක්‍රිය වීම හේතුවෙන් පොරොත්තු ලේඛණය මාස 8 ට වඩා දිගුවෙමින් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටියි. යන්ත්‍රය වරින් වර බිඳ වැටීම සහ නැවත යථාවත් වීම ප්‍රමාද වීම හේතුවෙන් පොරොත්තු ලේඛන ගතව සිටින රෝගීන් සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
විශේෂයෙන්ම හෘදයට රුධිරය සපයන රුධිර නාලවල(කිරීටක ධමනිවල ) අවහිරතා හඳුනා ගැනීම සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ එම දෝෂ නිවැරදි කිරීම සඳහා සිදුකරන ස්ටෙන්ට් යෙදීමේ ප්‍රතිකාරය සහ හෘද කපාටවල දෝෂ හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීමට අදාළ ප්‍රතිකාර සිදුකිරීම මෙම හෘද කැතීටරකරණ යන්ත්‍රය මගින් සිදු කරන අතර මේ වන විට එම පරික්ෂණ සියල්ල ඇනහිට ඇතැයි සංගමය පෙන්වාදේ.
ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි හෘද කැතීටරකරණ යන්ත්‍ර 14ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් මහනුවර ජාතික රෝහලේ එක් යන්ත්‍රයක් ද දීර්ඝ කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.ඒ අනුව මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනුයේ යන්ත්‍ර 12ක් පමණි.
කළුතර ශික්ෂණ රෝහලේ මෙම යන්ත්‍රය 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ස්ථාපනය කොට පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතර ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර සිදුකිරීම මෙම ඒකකයේදී සිදුකෙරිණි.
2024 ඔක්තෝබර් මාසයේදී මෙම යන්ත්‍රයේ වගකීම් කාලය (Warranty Period) අවසන් වූ අතර ඉන් අනතුරුව මේ වනතෙක් මෙම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් (Service Agreement) යාවත්කාලීනවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශ විසින් සිදුකොට නොමැත.
මෙසේ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම හේතුවෙන් පසුගිය කාලය පුරාම සිදු වූ බිඳ වැටීම් නැවත යථාවත් කිරීම සඳහා ඉතා වැඩි කාලයක් ගතවූ අතර මේ හේතුව නිසා වරින් වර රෝගී ප්‍රතිකාර කටයුතු අඩාල වීම සිදුවිය.
මෙම වගකීම් කාලය අවසන් වීම සහ සේවා ගිවිසුම් ගතවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු බලධාරීන්ට 2024 වසරේ ඔක්තෝබර් මාසයට පෙර සිට මෙම රෝහලේ නිලධාරීන් විසින් ලිඛිතව සහ වාචිකව අවස්ථා විශාල ප්‍රමාණයකදී දැනුවත් කිරීම සිදුකොට ඇත. මෙම ගැටළුව සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ වන තෙක් සිදුකොට නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබේ.
මෙම ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට ඉතා සීමිත පහසුකමක් සහ අත්‍යාවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන හෘද කැතීටරකරණ ඒකකයෙහි බිඳ වැටීම යථාවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.
-ශ්‍රියානි විජේසිංහ
-lankasara