යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව පැමිණ දේව පිළිමයක් කඩා දැමීමේ සිද්ධියකට ජාතික ජනබලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුලුව සැකකරුවන් අට දෙනෙකු පොලීසිය විසින් ඊයේ ( 26 ) අත් අඩංගුවට ගෙන තිබේ. කයිට්ස්, මෙලින්ජිමුනායි නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට තිබූ රුපියල් මිලියන 5 ක් පමණ වටිනා කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බවට දේවස්ථානයේ පූජකවරයා විසින් කයිට්ස් පොලීසියට කරණ ලද පැමිණිල්ලකින් පසුව මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය වූ දිනයේ සවස විශාල පිරිසක් එම දේවස්ථානයට යාබදව පිහිටි ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා තිබේ.
අනතුරුව කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම නිසා දේවස්ථානයේ පූජකවරු එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කොට තිබේ.
මේ අවස්ථාවේදී ඔවුන් පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන රාත්‍රියේ පැමිණ ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට හානි සිදු කොට දේවස්ථානයේ තවත් දේපල වලට අලාභ හානි සිදූ කොට තිබේ.
කයිට්ස් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසුව පොලීසිය විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වරද පිළිගෙන ඇති අතර ඔවුන්ව නිදහස් කරණ ලෙසද ඉල්ලා ඇතත් අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
-lankasara