හොර වාහන ගනුදෙනුවකට චෝදනා ලැබ සිටිය දී මේ දක්වා පොලිසිය මග හරිමින් සැඟවී සිටි හිටපු වරාය ඇමතිවරයෙක් වූ වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ මෙලිනි රොෂෙල් අබේගුණවර්ධන අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.
පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ව්‍යාජ දත්ත සහිතව ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී ජිප් රථයක් කළුතර නගර මධ්‍යයේ දී පසුගිය ජූලි 19 වැනිදා අත් අඩංගුවට ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන සන්තකයේ තිබිය දී ය.
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.
අත් අඩංගුවට ගත් රසික විතාන මතුගම පොලිසියට භාර දුන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පියාගේ සමාගමක් නමින් ලබා ගත් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන මෙලනි රොෂෙල් අබේගුණවර්ධනගෙන් බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පදිංචිව සිටි නාගොඩ ප්‍රදේශයේ නිවසට යන විට ඇයත් ඇයගේ සැමියාත් අතුරුදහන්ව සිටියේය. ඒ අතර උසාවියට ඉදිරිපත් කළ රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධව දීර්ඝ විස්තරයක් ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. ඔහුගේ පුත් රසික විතාන දැන් ඇප මත නිදහස් වී සිටී.
පසුගිය 24 වැනිදා මේ ගනුදෙනුව සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත පසුගිය 24 වැනිදා භාර විය.
අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක වීරක්කොඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.