කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී T56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළිවී තිබේ. අදාළ සැකකරු ඊයේ (21) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ T56 ගිනිඅවියක්, එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක්ද සමගිනි.
ඉහත සැකකරු මෙම ගිනිඅවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (22) ඉහත සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22ක් වන නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉහත සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත සැකකරුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ විවිධ වර්ගවලට අයත් අත්බෝම්බ 86ක්, T56 ජීව පතොරම් 321ක්, පැති අවි පතොරම් 03ක් සහ මත් කරල් 5600 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඒ අනුව අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලීසිය පවසයි.