ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් හත ඉන්දීය රජයේ එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකා රජය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලබනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා විය.
ඉන්දු ලංකා ගිවිසුම් තුන්වන පාර්ශ්වයකට පත්කිරීමේදී ද්විපාර්ශ්වීය එකඟතාව අවශ්‍ය බවට එම ගිවිසුමේ අන්තර්ගත කොන්දේසිය ඊට හේතු වී ඇත.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත හරහා අදාළ පනත් ලබා ගැනීමට උත්සාහ කළ පිරිස්වලට පවා එම තොරතුරු මුදාහැරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය මගින් තොරතුරු දැනගැනීමේ පනත හරහා විමසීමක් කළ අතර ඊට ප්‍රතිචාරය වූයේ අදාළ ගිවිසුම්වල පිටපත් ජනාධිපති කාර්යාලයේ නොමැති බවය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන්ගේ අත්සනින් යුතුව එවූ එම පිළිතුරු ලිපියේ ඊට හේතු ලෙස දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් එම ගිවිසුම්වලට අත්සන් කරනු නොලැබීමයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණේ පසුගිය අප්‍රේල් 5 වන දා ය.
බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදානය කරන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.
විදුලි බලය ආනයනය සහ අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කර ගැනීම, ත්‍රිකුණාමලය බල ශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතාව, ඖෂධ සංග්‍රහ සහයෝගිතාව හා නැගෙනහිර පළාතේ බහු ආංශික ප්‍රදාන සහාය ඒවායේ තේමාව ලෙස සඳහන් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
තව ද, එකී ගිවිසුම් හුවමාරුවට බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ අතිල් ජාසිංහ දේශීය නියෝජිතයන් වශයෙන් ද ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා විදෙස් නියෝජිතයන් වශයෙන්ද සහභාගී වූ බව ද එම නිවේදනයේම සඳහන් විය.
ඉන්පසුව මෙම ගිවිසුම් ප්‍රසිද්ධියට පත්කරන ලෙසට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලීම් කළ අතර ඒවා අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට හෝ නීතිපතිවරයාට යොමුකර නොමැති බවට ද විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවිණි.
අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අතර එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඕනෑ ම අයකුට ඒවා ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි බව ය.
බී.බී.සී. සිංහල සේවය ඇතුළු ජනමාධ්‍ය හා විවිධ පාර්ශ්ව ඒ සඳහා පොදු අධිකාරින් වෙත ඉල්ලුම් කර තිබූ නමුත් එම තොරතුරු මුදාහැරී බවක් වාර්තා නොවේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා එක් එක් ගිවිසුමේ විෂය පථයට අදාළ අමාත්‍යාංශවලට නැවත එම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට ඇතැමුන්ට දන්වා ඇතත් තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ කාල රාමුව තුළ එම තොරතුරු මෙතෙක් කිසිවෙකුට ලැබී නැත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිවිසුම් පිටපත් ලබාගත හැකි බවට අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශය ම ගිවිසුම් අන්තර්ගතයන් ජනගත වීම ප්‍රමාද කිරීමට යෙදූ උපක්‍රමයක් යැයි හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දක්වා තිබිණි.
තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියේ 1 හා 2 යටතේ සඳහන් රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව හා අන්තර්ජාතික නීති යටතට ගැනෙන ගිවිසුම් යටතේ අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට පොදු අධිකාරීන්ට අවස්ථාව ලැබීම ඊට හේතුව ලෙස ඔහු අවධාරණය කළේ ය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ‘ඉන්දු ලංකා ගිවිසුම’ අත්සන් කළ අවස්ථාවේත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ‘සටන් විරාම ගිවිසුම’ අත්සන් කළ අවස්ථාවේත් එම ගිවිසුම් හෙළිදරව් නොකිරීම රාජ්‍ය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් ලෙසට එවකට ජනතා විමුක්ති පෙරමුණ ම චෝදනා කළ පසුබිමක මෙසේ ගිවිසුම් ප්‍රමාද කිරීම ගැන විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිති.
ගිවිසුම් ප්‍රසිද්ධ කිරීම සඳහා ද්විපාර්ශ්වීය එකඟතාව අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් කෙරුණු ප්‍රශ්න කිරීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස වරක් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, මේ වනවිට ඉන්දු ලංකා ගිවිසුම් ප්‍රසිද්ධ කිරීම සඳහා ලංකා රජය පාර්ශ්වයෙන් ඉන්දීය රජයට ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා එකඟතාව ලැබුණු පසු අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.
– මව්බිම