gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔබ බදු ගෙවන්න…. හැම සතයක්ම අපි ආරක්ෂා කරනවා… එක සතයක් හරි වංචා කරන්න උත්සාහ කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති රටට සහතික වෙයි

රටේ බදු ගෙවන පුද්ගලයින්ගෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් බදු ගෙවීම සඳහා විශාල මැලිකමක් දක්වන බවත්, එයට හේතුව මෙතෙක් දේශපාලන අධිකාරිය රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධව ඇති විවේචනය බවත් කී ජනාධිපති අනුර කුමාර දිසානායක සියලුම බදු ගෙවන ජනතාවට බදු ගෙවන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් බදු ලෙස ගෙවන ඒ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට සහතික වී පොරොන්දු වුනේය.

ජනාධිපතිවයා මේ බව ප්‍රකාශ කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදු ශක්ති ජාතික බදු සතිය ආරම්භ කරමිනි.

“අපි සමාගම් ආදායම් බදුවලින් ලියාපදිංචි කරලා තියන අයගෙන් වාර්තා ලබා දීලා තියෙන්නේ සියයට 43යි. ඒ වගේම පුද්ගල ආදායම්බදුවලින් වාර්තා ලබා දීලා තියෙන්නේ සියයට 23යි 2023-24 කියන වසරට. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දිලා තියෙන්නෙ 46%යි. ඒ වගේම පේඊ ටැක්ස් ගෙවන අයගේ වාර්තා ලබාදීලා තියෙන්නේ සියයට 18යි.

මේ සියලු දත්තයක් සියයට 50 ඉක්මවා යන්නේ නෑ. ඒකෙන් පෙන්නුම් කරන්නේ විශාල බදු ගෙවීමේ මැලි කමක් බදු මග හැරීම සඳහා වන ප්‍රයත්නයක් මනෝ භාවයක් තියනවා. ඒක පැහැදිලියි.

මේකට හේතුව කුමක් ද?. එකක් අපේ දේශපාලන අධිකාරිය. දේශපාලන අධිකාරින් විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය ගැන අපේ රටේ බදු ගෙවන්නන්ට පොදු ජනයාටත් විශාල විවේචනයක් තියනවා.

“ඒ නිසා අප මුලිනම් කළ යුතු වන්නේ මේ දේශපාලන අධිකාරිය බදු ගෙවන්නන් විසින් විසින් එකතු කරගන්නා ලද මුදල් නිසි පරිදි අත්‍යාවශ්‍ය දේ සඳහා යොදවනවා කියන සහතිකය අප දෙන්න ඕන. ”

“ඒක මුලුමනින්ම මටත් අපේ අමාත්‍ය මණඩලයටත් අපේ දේශපාල අධිකාරියටත් පැවරිලා තියනවා.”

“මම ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ ගෙවන කිසිම බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය වංචා කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ කියන සහතිකය දෙන්නම්.” ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වුනේය. එමෙන්ම මේ වනවිට ජනාධිපතිවරයා ලෙස ජනතා බදු මුදල් පරිහරණය කිරීමේ දී තමන් දී ඇති ආදර්ශය ද ඔහු රට හමුවේ තැබුවේය.

“ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහජනයාගේ බදු මුදල්වලින් අණ පණත්වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. ගැසට් නිවේදන මගින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා.”

“හැබැයි අපේ ඒ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත් හැරලා තියනවා. මහජනයාගේ හැම රුපියලක්ම අරපරිස්සම් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයම මා කප්පාදුකර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලයත් එහෙමයි. අපේ මන්ත්‍රීවරුත් එහෙමයි.”

“මොකද මේ දේශපාලන අධිකාරිය තිර අදිටනකින් නැතිව මහජන මුදල් නාස්තිය වංචාව නතර කරනවා කියලා මේ රට ගොඩ ගන්න බෑ. අපි තිර අධිශ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය අපි එතනින් දෙන්නම්.”

ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය කිරීමේ අභියෝගාත්මක වැඩසටහන හාන්ස් විජේසූරිය සමග අරඹා ඇති බවය. මේ සමගම මෙතෙක් පැවති මන්දගාමී රාජ්‍ය යාන්ත්‍රණය ඵලදායී දිශානතිකයට යොමුවන ආකාරය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
සිය කතාව අතර මේ රටේ දූෂණය සහ වංචාව සම්බන්ධව යථා ස්වරූපය හෙළි කරන සිද්ධි කීපයක් ද ජනාධිපතිවරයා විසින් මතු කළේය.

“මේ රට තියන තැන කියන්නම් දූෂණ හා වංචා සම්බන්ධව. මෑතකදී මාතර බන්ධනාගාරය අලුත්වැඩියා කිරිම හේතුකරගෙන එහි සිරකරුවන් අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කළා. ඔවුන් සතුව තිබෙන සියලු දේ ඔවුන්ට අරන් යන්න බෑ. මොනවද අපට හම්බවුනේ බන්ධනාගාරයෙන්. මාංචු කුට්ටම් 7ක් ලැබුණා සිරකරුවන් අතේ තිබිලා. යතුරු 28ක් ලැබුනා මාංචු කුට්ට්ම් අරින. මාංචු කුට්ටම් ඔවුන් අතේ. යතුරුත් ඔවුන් අතේ. ජංගම දුරකථන, වයර්, චාජර්… මෙහෙමයි තිබුනේ… එකක්වත් ඒ ඉන්න නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නෙමෙයි. ”

උසාවිය තුළ දී සැකකරුවෙක් වෙඩිකෑමේ සිද්ධිය පසුපස පොලිස් නිලධාරීන් සිටින ආකාරයත්, මිද්දෙනිය ඝාතනයේ කොටසක පොලිසිය හැසිරී ඇති ආකාරයත් සිහිකළ ජනාධිපතිවරයා කීවේ අප ඉන්නේ ගිනි අවිය විකුණා රට පැන්න පොලිස් නිලධාරීන් සිටින රාජ්‍යයක බවය. හමුදා කඳවුරක තිබුණු ගිනි අවි 73ක් පාතාලයට ගිය ඉතිහාසය සිහිකළ ජනාධිපතිවරයා තවමත් පාතාලයින්ට පාස්පෝට් හදන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආරක්ෂා කරන මර්මාස්ථාවවල ඉන්න ආකාරය පෙන්වා දුන්නේය.
.
ආර්.එම්.වී එකේ එක් නිලධාරියෙකුගේ ලොකර් එකෙන් හම්බවෙනවා ඒ නිලධාරියා අවුරුදු තුනක් වැඩ කළත් හම්බකරගන්න බැරි වැටුපක්. කොතැනද මේ රට තියෙන්නේ…

“අපට පෙනෙන මේ ආකාරයේ සාමකාමී පද්ධතියක් තියනවා වගේම මේක ඇතුළෙ කළු පද්ධතියක් තියනවා. අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කළු පද්ධතියො ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත. ”

“මෑතක දී රේගුවේ බහාලුම් ප්‍රමාණයක් විවෘත කළාට පස්සේ ඉතාම ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් නීති විරෝධී භාණ්ඩ ආනයනය කරලා හම්බවෙනවා. කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් අතලොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරියෙ නියෝජනයක් තියනවා. මේ කළු යාන්ත්‍රණයේ නීති විරෝධී සන්නද්ධ අවි ගත්ත අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ මාධ්‍ය ඉන්නවා. ”

“ඒ නිසා අප ඉදිරිපිට තියනවා ඉතාම සංවිධානාත්මක කළු යාන්ත්‍රණයක් තියනවා. මා ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳනවා. ”

“හැම කෙනාටම නීතියට යටත් වෙන පරිසරයක් නිර්මාණය කරනවා. හිතන්න… ධනය කොච්චර එක්රැස් කරගත්තත් වැඩක් තියනවා ද අවුරුදු 61 දි අවුරුදු 20ක් හිරේට යන්න සිද්ධ වෙනවා නම්… මොකක්ද ඇති ඵලය. ”

‘කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වැඩක් තියනව ද මහ ජනයගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන, මහජනයා වෙනුවෙන් වැඩ කරලා, මහජනයාගෙන් වැටුප් ලබමින් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහාර නිවාස සඳහා බදු මුදල් අයථා ලෙස වැය කරන්න. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න පුලුවන් ද?. මොකක්ද ඇති ඵලය. මේ හැම දේටම දඬුවම් ලබා දෙනවා. කළ යුතුයි.”

“ඒ නිසා බදු ගෙවීම සහ බදු ලබාගැනීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ කළු යාන්ත්‍රණය බිඳින්න අපි සූදානම් වෙන්න ඕන. ඒකට ලෑස්ති නැතිනම් කල් තියා යන්න පුලුවන්. මොකද මේ යාන්ත්‍රණය බිඳන්නේ නැතිනම් මේ රට මෙතනින් ඉදිරියට අඟලක්වත් ගෙනියෑමේ හැකියාවක් නෑ.”

“බදු මුදල් ගෙවන හැම කෙනාටම ආරාධනා කරනවා. ඔබ බදු ගෙවන්න. ඔබ ගෙවන හැම රුපියලක්ම අපි ආරක්ෂා කරනවා. එක රුපියලක් හරි වංචා කරන්න උත්සාහ කරනවා නම් ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි උපරිම ලෙස මැදිහත් වෙනවා.” ජනාධිපතිවරයා සහතික වුනේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka