පොදු ජන පෙරමුණට ඇත්තේ පුලුල් දේශපාලන දැක්මක් බවත් ජන වරමට ගරු කර ඒ ඒ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරනවා විනා පලාත් පාලන ආයතනයක බලය ගැනීම වැනි සරළ කාරණාවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමේ අපේක්ෂාවක් පොදු ජන පෙරමුණට නොමැති බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ එම ප්‍රතිපත්තිවලට ගැලපෙන කණ්ඩායම්වලට එක්ව සන්ධානගත විය හැකි වුව ද වාමාංශික නැඹුරුවක් සහිත පොදු ජන පෙරමුණට එවැනි සන්ධානගතවීමක් කළ නොහැකි බවය.
ඊයේ (15) නෙළුම් මාවත පොදු ජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් මහලේකම් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව ගොඩනගන්නට උත්සාහ කරමින් ඇති විපක්ෂ සන්ධානයට පොහොට්ටුව එකතුවන්නේ දැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී මහලේකම්වරයා මෙසේ ද පැවසීය.
“අපි විශ්වාස කරනවා පක්ෂයක් හැටියට සන්ධානයක් තුළින් මෙම බලය පිහිටුවීම සිදුකළ යුතු නෑ කියන කාරණය. පුලුල් අරමුණක්… මේ රටේ 2029 බලය පිහිටුවීම කියන අරමුණේ ආරම්භයක් හැටියට පමණයි අපි මේක දකින්නේ. ”
“අපි මේ අවස්ථාවේ දී පළාත් පාලන ආයතනවල වෙන් වෙන්ව බලය පිහිටුවිමේ දී ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ ජනතා මතයට ගරු කරලා අවශ්‍ය දේ කරනවා මිසක් අපි පක්ෂයක් හැටියට සන්ධානගත වෙලා බලය පිහිටුවන්න එකඟ වෙන්නේ නෑ. ”
“මොකද එක්සත් ජාතික පක්ෂයට, සමගි ජන බලවේගයට සහ එහි ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂවලට එකතුවක් විය හැකියි. නමුත් අපි හැමදාම පක්ෂයක් හැටියට වාමාංශික පක්ෂ සමග සිටි පක්ෂයක්. අපේ ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන ගමනක් මිසක් අපට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති දරන පුද්ගලයින් සමග හෝ පක්ෂ සමග බලය පිහිටුවනවා කියන සරල කාරණයක් සඳහා එකතු වෙලා කටයුතු කරන්න අපට හැකියාවක් නෑ. ”