රත්තරන් වැසිකිළි රත්තරන් අශ්වයින් සිටි බවට සඳහන් කළ චෝදනා බොරුවක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, එම බොරුවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය දිනෙන් දින ඔප්පු වෙමින් පවතින බවයි.
අනුර කුමාර ජනාධිපතිවරයා ළඟ තිබෙන බවට සඳහන් කළ ෆයිල් මිටිය කවුරුන් හෝ පැහැර ගත්තාදැයි ඔහුගෙන් විමසා සිටින බවත්, ඔහු ජනාධිපති ධුරයට පත්වී මාස හතකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත්, එම සිදුකරන ලද කිසිඳු චෝදනාවක් වෙනුවෙන් මෙතෙක් පරික්ෂණයක් හෝ ආරම්භ කර නොමැති බවද සාගර කාරියවසම් මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් ලබාදුන් ගිණුම් අංක පවා අනුර කුමාර ජනාධිපතිවරයා සතුව ඇති බවට ප්‍රකාශ කළ බවත්, එම ගිණුම් අංක අදාළ බලධාරීන්ට ලබාදී නීතිමය වශයෙන් කටයුතු කරන ලෙස ඔහු එහිදී අවධාරණය කළා.
එසේ නොවන්නේ නම් මේ රට යුද්ධයෙන් බේරාගත්, කිසිදු දෙයක් සොරකම් නොකරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සමාව ගන්නා ලෙස සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළා.