පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටහය දෙනාගෙන් ජීවිත තර්ජන ඇති මන්ත්‍රිවරුන්ට යළිත් වරක් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීම කෙරෙහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.
සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමැති ආරක්ෂක නිලධාරීන් ලබාදෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට එක්ව සිටි අතර පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීරද ඊට එක්ව සිටියාය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද එක්ව සිටි මෙම සාකච්ඡාවේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත.
ඒ අනුව ජීවිත තර්ජන ඇති බවට පැවසෙන මන්ත්‍රිවරුන්ට ඇති තර්ජන පිළිබඳව බුද්ධි අංශ යොදවා ආරක්ෂක තක්සේරුවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි. අනතුරුව ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිතය.
විපක්ෂයේ පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක්
මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව මතුව ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ පක්ෂ නායකයන් කථානායකවරයා ගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණ.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රිවරුන් අතර විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 20 පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම රටේ ජන ජීවිතයට බලපෑමක් වී ඇති බවත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවත්, පක්ෂ නායකයන් එහිදී පෙන්වාදී තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබූ නිලධාරීන් 1145 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබිය.
මුලාශ්‍රය - aruna