මාලනී ෆොන්සේකා හෙළ සිනමාවේ රැජණ වූයේ කෙසේ දැයි නිදහස් චතුරශ්‍රයේ පැවති අවමංගල සභාව අමතමින් අපේ සිනමාවේ තවත් අග්‍රගණ්‍ය නිළියක වූ අනෝජා වීරසිංහ අද ( 26) රටට කියා දුන්නාය.
අනෝජා නිලියක වූයේ මාලනීයගේ සෙවනැල්ල යට බව ඇය අද හඬා වැටෙමින් අනාවරණය කළාය. අනෝජා මාලනිය ගැන කී ඒ කතාව මෙසේය.
“රටේ හැමොටම ඇය නිළි රැජන… නමුත් ඇය මට මාලනී අක්කා. මගේ නෝනේ. මගේ සිනමා ජීවිතයේ පළමු ගුරුවරිය. ”
“මම සිනමාවට පා තබන්නට පෙර මොනරාගල සහ සහ බදුල්ලේ හැදී වැඩී කුඩා දැරියක්ව සිටිය දී මම මාලනී අක්කාව අනුකරණය කළා. ඇය මෙන් කතා කරන්නට දෙබස් කියන්නට ඇවිදින්නට ගී ගයමින් නටන්නට මා උත්සාහ කළා. ඇය මගේ සිනමාවේ වීරවරිය වූවා.”
“මම චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය යසපාලිත නානායක්කාර මහතා නිශ්පාදනය කළ මොණරතැන්න. එහිදී ලෝක පූජිත මේ රංගන ශිල්පිනිය සමග ඇයගේ යෙහෙළිය ලෙස මුලු චිත්‍රපටය පුරාම එකට රඟපාන්නට මා භාග්‍ය ලැබුවා. එතකොට මා අතිශය ආධුනික, නවක නිලියක යැයි කියන්නටවත් අත්දැකීමක් නැති ගම්බද කෙල්ලක්. ඒ චිත්‍රපටය මගේ පළමු රංගනය දුටු සියල්ලෝම මට හිනා වුනේ මගේ විකාර රූපී රංගනයටයි. ”
“හැමෝම හිනා වුනත් මාලනි අක්කා හිනා වුනේ නෑ. ඇය මාව පැත්තකට අරන් කියා දුන්නා වේදිකාවේ මෙන් ඈතට පේන්න අපි රඟපෑම නොකළ යුතු බව. දෙබස් වැඩිදුර උච්ඡාරණය නොකළ යුතු බව. සිනමා කැමරාව බෙහෙවින්ම සියුම් නිසා හෙමිහිට පොඩි දෙයක් කරන්න කියලා එයා කරලා පෙන්නුවා. එදයින් පස්සේ මට වැරදුනේ නෑ.”
“ඇගේ ගුරුහරුකම් මගේ සිනමා ජීවිතය පුරාම මට ආලෝකයක් වුනා. ඒ තමයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා…”
“රැජණකට තිබිය යුතු ගුණාංග අපි හැමෝටම හැම මොහොතකම ඇයගෙන් දකින්න ලැබුනේ මේ විදිහටයි. එතුමියත් මමත් චිත්‍රපට අටක පමණ රංගනයෙන් එකට දායක වුනා. සිතිවිලිවලින් හැඟීම්වලින් සහෝදරත්වයෙන් අපි ඉතා සමීප වුනා. අප හැමගේම ආදරණිය මාලනී අක්කා ගැන පැය ගණනාවක් වුවද කතා කිරීමට හැකියාව තිබුණත් මා මේ අවමංගල්‍ය සභාවේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න මා අවසර දිය යුතුයි. ”
අනතුරුව පැමිණ සිටි පිරිස පිළිගෙන අනෝජා වීරසිංහ සිය කතාව මෙසේ නිමා කළාය.
ආදරය සෙනෙහස සතුට සොම්නස වගේම දුක වේදනාව තනිකම හුදකලාව සම සිතින් දරාගත් මේ ප්‍රේමණීය ගැහැණිය ගැන මතකය සදාකාලිකයි. භෞතිකව ඇය මිය ගියත් අපේ අධ්‍යාත්මය තුළ හෙටත් ඇය ජීවමානයි. ඇයගේ සිනාව ඇයගේ කටහඬ ඇයගේ නිම නොවන ආදරය, හෙටත් ජීවමානයි.
මාලනී අක්කේ… මගේ නෝනේ… අප ආයේ භෞතිකව හමුවෙන්නේ නෑ. අපේ මතක මං පෙත් තුළ අප සමග ඒ කිංකිණි සිනාව නගමින් ඔබ හැමදාව ඇවිද යන බව විශ්වාසයි. සසර ගමන කෙටි කරගන්නට මතු භවයන්හිදී ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා. නිර්වාණයම සාක්ෂාත් වේවා.
හෙළ සිනමාවේ සොඳුරු රාජිණියනි. ඔබට සුව නින්දක්.