ලබන සඳුදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින්නැයි ද එසේ පෙනී නොසිටියහොත් නීතිය මගින් ගත යුතු පියවර ගන්නා බව ද එම කොමිසම හිටපු ජනාධිපතිවරයාට යළිත් දැනුම් දී තිබේ.
ඌව පලාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසානායක සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාලව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට අද (25) දෙවැනි වරට ද කැඳවා තිබුණත් ඔහු එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේ නැත.
කොමිසම තුන්වන වරට හිටපු ජනාධිපතිවරයාට අදාල දැනුම්දීම සිදුකර ඇත්තේ අවස්ථා දෙකක දී ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැර සිටින පසුබිමකය.
මුල් අවස්ථාවේ දී තමන් කොළඹ නැති බව කී හිටපු ජනාධිපතිවරයා දෙවැනි අවස්ථාවේ දී ප්‍රකාශ කළේ තමන්ගේ නීතිඥවරයා විදේශගතව ඇති බවය ඔහු විදේශගතව සිට ලංකාවට පැමිණි පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින්නට දිනයක් ලබා ගන්නා බවත් ද රනිල් වික්‍රමසිංහ කීවේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද පෙරවරුවේ නිවේදනය කළේ රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා මගින් යොමු කළ ලිපියකින් 28 දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවය.
ඒ අනුව එදින පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහ වෙත කොමිසම විසින් දන්වා තිබේ. එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ සාධාරණ හේතුවක් නොමැතිව කොමිසමේ පෙනී නොසිටියහෝ පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවය.
