ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර හයකට පසු, සමාජ හා ආගමික මධ්‍යස්ථානය (CSR) විසින් නිකුත් කරන ලද නව වාර්තාවකින් හෙළි වන්නේ කොළඹ අගරදගුරු පදවියේ සමාජ අංශය වන සෙත් සරණ විසින් වින්දිතයින්ට සහාය වීම සඳහා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් මිලියන 350.7 ක් ලැබුණු බවයි.
මෙම මුදලින්, නිශ්චිත වියදම් කාණ්ඩ සඳහා වාර්තාවේ ලැයිස්තුගත කර ඇත්තේ රුපියල් මිලියන 264.6 ක් පමණක් බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කර ඇත . මේවාට ළමා අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 102 ක්, රජය සමඟ සහයෝගයෙන් නිවාස ඉදිකිරීමට අවශ්‍යය ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53 ක්, වින්දිතයින්ගේ දෛනික වියදම් සඳහා රුපියල් මිලියන 35 ක්, වෛද්‍ය වියදම් සඳහා රුපියල් මිලියන 17.8 ක්, වන්දි සඳහා රුපියල් මිලියන 16.8 ක්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් මිලියන 30 ක් සහ මඩකලපුවේ සියොන් පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 10 ක් ඇතුළත් වේ. ඉතිරි රුපියල් මිලියන 86.1 භාවිතා කිරීම ගැන එම වාර්තාවේ නිශ්චිතව දක්වා නොමැත.
එම වාර්තාවට අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් තහවුරු කර නොමැත. “වසර 5කට වැඩි කාලයක් ගත වී ඇතත්, වින්දිතයින් සංඛ්‍යාව තවමත් නිශ්චිත නැත” යනුවෙන් එහි සඳහන් වන අතර, මෙය අරමුදල් බෙදා හැරීමට බලපෑමක් ඇති කරන බවත්, සමහර බලපෑමට ලක් වූ පවුල් මූල්‍ය ආධාරවලින් බැහැර වී ඇති බවත් තවදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, 2024 ජුනි මාසයේදී, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්, පල්ලිය විසින් එකතු කරන ලද අරමුදල් භාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද චෝදනාවලට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීය. “හිටපු ජනාධිපති සිරිසේන විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වෛරී සහගත සහ නුසුදුසු ය,” කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ. “බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපි ජාත්‍යන්තර සහ දේශීය පාර්ශවයන්ගෙන් සහාය ඉල්ලා සිටියෙමු… අපට ලැබුණු නිශ්චිත මුදලක් ගැන පැවසිය නොහැකියි. රුපියල් මිලියන 500 ක් පමණ අපට එකතු වෙන්න ඇති… නමුත් සත්‍යාපනය සඳහා දත්ත අප සතුව තියෙනවා,” උන්වහන්සේ කීයහ. කාදිනල් හිමි එහිදී තවදුරටත් සඳහන් කළේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 460 ක් වින්දිතයින්ට බෙදා දී ඇති බවත් විගණනය කරන ලද බැංකු වාර්තා ලබා ගත හැකි බවත්ය.
“එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර ඔහු [සිරිසේන] අපෙන් විමසුවේ නම්, ඔහුට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිව තිබූ” බවත්, එම ප්‍රකාශ “කරුණු විශ්ලේෂණය නොකර ආවේගශීලීව” කළ බව යෝජනා කරමින්, කාදිනල් රංජිත් හිමි පැවසුවේ, “කවුරුහරි හිටපු ජනාධිපතිවරයා නොමඟ යවා ඇත්දැයි අපි නොදනිමු. එහෙත් අපගේ හෘදය සාක්ෂිය පැහැදිලි,” බවයි.
ප්‍රහාරයන්ට අදාළව සිදුවෙමින් පවතින නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ යාවත්කාලීන කිරීම් ද වාර්තාවේ අඩංගු වේ. හෙජාස් හිස්බුල්ලා නම් සැකකරුවෙකුගේ නඩුවේදී,අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, “දැනට නඩු විභාගය සිදුවෙමින් පවතී. කෙසේ වෙතත්, හෙජාස්ට එරෙහිව සාක්ෂි දුර්වලයි.” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහාධිකරණයට පෙර කළ ප්‍රකාශ ගොතන ලද ඒවා බව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු අධිකරණයේදී පිළිගත් බව ද එහි සටහන් වේ.
තවත් කොටසක, CSR හි බලපෑම ජාතික ආරක්ෂක නායකත්වයේ පරිපාලනමය වෙනස්කම් වලට තුඩු දුන් බව වාර්තාවේ සඳහන් වේ. “CSR හි බලපෑම හේතුවෙන්, සුරේෂ් සලේ මහතා ඉවත් කළ අතර, ශානි අබේසේකර සහ අනෙකුත් අය කොන්ත්‍රාත් පදනම මත ඔවුන්ගේ තනතුරුවලට නැවත පත් කරන ලදී” යනුවෙන් එහි සඳහන් වේ.
ප්‍රහාරවලට අදාළ අධිකරණ නඩු කඩිනම් කිරීම, ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම, වින්දිතයින්ට ප්‍රමාණවත් වන්දි සහතික කිරීම, සියලුම නිල වාර්තා ප්‍රසිද්ධ කිරීම සහ බලපෑමට ලක් වූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව සත්‍යාපනය කිරීම වැනි තවත් නිර්දේශ වාර්තාවේ ඇතුළත් වේ.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර කොළඹ, මීගමුව සහ මඩකලපුවේ පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 260 කට වැඩි පිරිසක් මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. නීතිමය කටයුතු, වන්දි ගෙවීමේ උත්සාහයන් සහ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.
යොමුව මෙතනින්
