දඹුල්ලේ විවෘත කළ තෙතමනය සහ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණය යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට හැකි වීමත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් අද එය විවෘත වීමත් තමන්ගේ ජීවිතයේ ඓතිහාසික හැරවුම් ලකුණක් ලෙස තමන් සලකන බව සිය ෆේස් බුක් ගිනුමේ විශේෂ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පවසයි.
ඔහු ප්‍රකාශ කරන්නේ යහ පාලන රජය සමයේ තමන් විසින් ආරම්භ කර ප්‍රභාෂ්වර ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය මේ ආකාරයෙන් නිමා වී ජාතියට දායාද වීම රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව ද ඔහු පෙන්වා දෙයි. යහ පාලන රජය සමයේ ආරම්භ වූ ප්‍රභාෂ්වර ව්‍යාපෘතිය පිළිබඳව පසුකාලීන රජයන් විශේෂ අවධානයක් යොමු නොකළ බව ද වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ගැන තමන් සතුටුවන බව ද පවසන හර්ෂ ද සිල්වා මෙම ව්‍යාපෘතියේ සැලසුම් කර ඇති දිගු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට රජයට හැකි වේවායි ප්‍රාර්ථනා කරයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා තැබූ සටහන මෙසේය.
“අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝදි අගමැතිවරයා සහ අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කිරීම නිසයි.
මෙය විවෘත කිරීමට ලැබීම රටක් ලෙස ජයග්‍රහණයක්. ඒ පිළිබඳව මා අවංකවම සතුටු වෙනවා.
අපි විසින් මෙය ඉදිරියට රැගෙන යාම සඳහා අව්‍යශ ව්‍යාපාරික සැලසුම පවා හදලයි තිබුණේ. යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා.
පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැගූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා.
ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5,000 ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ.
මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගී වුණා.
ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක්ද සහිතව ඉදිකළ මෙම වැඩසටහන එදා අපි නම්කළේ “ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම” නමිනුයි.
මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම්වලින් යුත් කොටස් හයකින් සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ශීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.
මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට එදා මා සහභාගී වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස මෙසේ කිව්වා. ඒ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
මෙරට ගොවීන් අස්වැන්න වැඩි කාලයට අතිරික්ත අස්වැන්න අලියන්ට කන්න විසිකරනවා. මෙම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. මේ සඳහා මම උනන්දු වුණේ 2002 වසරේ ඉඳලයි. මම ඒ කාලයේ ගොවියන්ට නිසි වේලාවට වෙළඳපොළ තොරතුරු දෙන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එකතුවෙලා ගොවිඥාන කියල වැඩසටහනක් කළා. මට එදා තිබුණු වුවමනාව ඉෂ්ට කරගන්න අද අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා.
මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීමටයි අපි “ප්‍රභාෂ්වර“ වැඩසටහන මගින් සැලසුම් කර තිබුණේ.
එය යථාර්තයක් බවට පත්කිරීමට අනුර ජනාධිපතිවරයාට හැකිවේවා.”
