gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දුමින්දගේ සානුකම්පිත ඉල්ලීමට වෛද්‍යවරු පස්ස හරවයි!

බන්ධනාගාර රෝහලේ සිට සාමාන්‍ය සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් දුමින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ඊයේ (3) පරීක්ෂාවට ලක් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්වයක් නොමැති බවට විශේෂඥ වෛද්‍ය කමිටුවක වාර්තාවක් මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවේ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා, දුමින්ද සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව හිසේ ශල්‍යකර්මයකට භාජනය වී ඇති බව පෙන්වා දෙමින් ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන සානුකම්පිතව සලකා ඔහු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්වයක් නොමැති බවට වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් නිර්දේශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, පෙත්සම්කරුගේ රෝගී තත්වය කිසියම් අවස්ථාවක උත්සන්න වුවහොත්, විනාඩි පහක් ඇතුළත රෝහල් ගත කිරීමට අවශ්‍ය ගිලන් රථ පහසුකම් ඇතුළු සියලු පහසුකම් පැය විසි හතර පුරාම බන්ධනාගාරය සතුව පවතින බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පෙත්සම්කරුට විශේෂ පහසුකම් සැලසීමට යාම තුළින් සෙසු සිරකරුවන්ගේ හා රැඳවියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. ඔහු අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරමින්, පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණය මෙම නඩුවේ වැඩිදුර කරුණු සලකා බැලීම මැයි මස 08 වැනි දින දක්වා කල් තබා ඇති අතර, එදිනට පෙර විරෝධතා තිබේ නම් ඒවා ලිඛිතව ගොනු කිරීමට වග උත්තරකරුවන්ට නියෝග කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම වී ඇති අතර, මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka