අද (13) අළුයම් කාලයේ දී රුපියල් කෝටි 1125කට අධික වීදි වටිනාකමක් සහිත හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් සමත් වී තිබේ.
සංවිධානාත්මක මෙහෙයුමකින් තොරව රථ වාහන පරීක්ෂාවක දී ලංකා ඉතිහාසයේ එක් වර අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය බව පොලිසිය පවසියි. පොලිසිය විසින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව අද අළුයම මෙම මෙහෙයුම කර තිබුණේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඇතුළුවන දොරටුව ආසන්නයේ දී ය.
තංගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්වන පොලිස් සැරයන් විදානාරච්චි සහ පොලිස් කොස්තාපල් වීරසිංහ විසින් සැක කටයුතු ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය 65 ග්‍රෑම් 720ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 280ක පමණ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබිණි.
ලොරි රථයේ සැටලයිට් දුරකථන දෙකක් ද තිබී ඇත. මත්ද්‍රව්‍ය තොගය සමග ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවරුදු 34 හා 35 වයස්වල පසුවන පැපිළියවෙල සහ ගුන්නෑපාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ලොරි රථයේ සිටි එක් සැකකරුවෙක් පලා ගොස් තිබේ. තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මගින් ධීවර වරාය වෙතම ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගයක් බව විමර්ශන අංශ සැක කරයි.
ගැඹුරු මුහුදේ කරනු බැලූ මෙහෙයුමකින් අනතුරුව ඊයේ දිනයේ දී මත් ද්‍රව්‍ය කිලෝ 100ක් සමග සැකකරුවන් හය දෙනෙක් අත් අඩංගුවට ගෙන දික්ඕවිට වරාය වෙත ගෙන එනු ලැබුවේය. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ද රුපියල් බිලියන 2කට අධික වීදි වටිනාකමක් සහිතය.
-lankasara