අණ නොතකා ධාවනය කරද්දී ඊයේ (12) කොටහේනේ දී පොලිසිය විසින් වෙඩි තබා නතර කරගෙන ඇත්තේ ගැබිණි කාන්තාවක් ද සහිත කාන්තාවන් දෙදෙනෙක් සමග පැහැරගෙන යමින් තිබූ වාහනයක් බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඊයේ රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේදී තම ගැබිණි බිරිඳ හා මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෝටර් රථයේ එන්ජිම පණගන්වා තිබියදී ආහාර මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් බැස කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත.
එම අවස්ථාවේ දී අදාල පුද්ගලයා විසින් මෝටර් රථය හිමිකරුගේ බිරිඳ හා මව කාර් රථය තුළ සිටියදීම පණගන්වා තිබූ රථය කොල්ලකා පලා ගොස් තිබේ.
එම අවස්ථාවේදී විමර්ශන කටයුත්තක් සඳහා කැබ් රථයකින් කොටහේන පොලිස් වසමට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී පලා යමින් තිබූ කාර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර ඇත.
නමුත් සැකකරු විසින් පොලිස් අණ නොතකා තවදුරටත් මෝටර් රථය ධාවනය කර තිබේ. පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී මෝටර් රථය නතර කර ගැනීමට සමත්වී තිබේ.
නිලධාරින් කාර් රථය අසලට යන අවස්ථාවේදී සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් තිබේ. රථය තුළ සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
– (දෙරණ)