gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම නැවත කරළියට : හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙන්නෙකු අල්ලයි!

මීට වසර 17 කට පෙර සිදුවූ නමුත් දේශපාලන බලපෑම් නිසා යටගිය මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද දින නිදහස් කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගෙන තිබුණේ නවගත්තේගම සහ ඇලයාපත්තුව පොලිස් වසම්හිදී ය.

2008 වසරේ මැයි මාසයේදී 'ද නේෂන්' පුවත්පතේ සම කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කලින් කල දේශපාලන අවශ්‍යතා මත යටගිය බවට විවේචන තිබේ.

2008 මැයි 22 වැනිදා දෙහිවල පොලිස් වසමේ වෛද්‍ය පාර ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තිබූ අතර
යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එවක අත්අඩංගුවට ගෙන තිබුණි.  මෙම සැකකරුද ඇතුළුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 09 කි.

නමුත් මේ සම්බන්ධව පරීක්ෂණ කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිශාන්ත සිල්වා දේශපාලන හේතු මත රට හැරගියේ 2019 වසරේදීය.

කීත් සේවය කළේ මීට වසර කිහිපයකට පෙර වසා දැමූ 'රිවිර මීඩියා කෝපරේශන්' ආයතනයේ 'ද නේෂන්' පුවත්පතේ සම කර්තෘවරයා හැටියටය. ඔහු පුවත්පතේ යුද තොරතුරු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද විය. 'ද නේශන්' පුවත්පතේ 'සෙන්පති' යන අන්වර්ථ නාමයෙන් 'මිලිටරි මැටර්ස්' නමැති ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ යුද තත්ත්වය පිළිබඳව වූ ලිපිය සතිපතා රචනා කළේ කීත්ය.

කීත් පැහැරගැනීමට පෙර පළ කෙරුණ ලිපිය කීත් විසින් රචනා කරනු ලැබ තිබුණේ එවකට යුද තත්ත්වය සහ දේශපාලන බලධාරීන් විවේචනය කෙරෙන පරිදිය. කීත් පැහැරගෙන යාමට ආසන්න හේතුව බව පැවැසුනේ "යුද හමුදාව එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ" යන හිසින් පළ වූ ලිපියයි.

සිය සගයින් සහ ප්‍රධානීන්ගේ කොන්දේසි විරහිත මැදිහත්වීම් නොවන්නට වධහිංසාවට මුහුණදීමට පමණක් නොව ඇතැම් විට ඔහුගේ ජීවිතය උදුරාගන්නටද එම ලිපිය හේතුවන්නට ඉඩ තිබූ බව මේ වනවිට විමර්ශනවලින් හෙළිදරව්වී ඇති සිදුවීම් අනුව පැහැදිලිය.

කීත් පැහැරගනු ලබන්නේ 'ද නේෂන්' පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් සහ එහි හිමිකාරීත්වය ඇති රිවිර මීඩියා කෝපරේශන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ සමග කොළඹ ඩුප්ලිකේශන් පාරේ පිහිටි අවන්හලක රාත්‍රී ආහාරය ගෙන නිවසට පිටත් වීමෙන් අනතුරුව එළඹෙන ඊළග නිමේෂයේදීය.

කීත් සිය මෝටර් රථයෙන් දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි සිය නිවස ඉදිරිපිටටම පැමිණෙන අතර පැහැරගැනීමට ලක් වන්නේ නිවස ඉදිරිපිට වාහනය නතර කිරීමට සූදානම්වන මොහොතේය. කීත්ගේ බිරිඳ නිවස ඉදිරියට එන විට කීත් එහි නොසිටි අතර වාහනයේ රියදුරු අසුනේ දොර හැර දමා එන්ජිම ක්‍රියා විරහිත කර නොමැති බව දැකීමෙන් ඈ කලබලයට පත්වන්නීය. කීත්ගේ බිරිඳ රෝෂිණී මේ පිළිබඳව 'ද නේෂන්' නියෝජ්‍ය කර්තෘවරයා දැනුම්වත් කරන්නේ එහෙයිනි.

කීත් පැහැරගැනීම ගැන කලබලය ඇති වන්නේ ක්‍රිෂාන්ත කුරේ එවකට රජයේ රාජ්‍ය පරිපාලන ඇමති ධුරය දැරූ කරූ ජයසූරිය අමතා මෙම සිදුවීම දැනුම් දී සිය ආයතනයේ ඉංග්‍රීසි පුවත්පතේ සම කර්තෘවරයාගේ ජීවිතාරක්ෂාව පිළිබඳව සහතිකයක් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීම සමගය. එයින් පොළඹවනු ලබන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි සිය සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ ඇමතීම සිදුව තිබේ.

ඒ අතරේ සිදු වූ තවත් සිදුවීම් කිහිපයකි. සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට දෙහිවල පොලිසිය වෙත ගිය ක්‍රිෂාන්ත කුරේ සිය ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා පොලිසියෙන් සූදානමක් නොතිබිණි.

යහපාලන ආණ්ඩුවේ විමර්ශන අනුව, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම පිළිබඳව ගල්කිස්ස උසාවියේ ගොනු කර ඇති අංක 314 නඩුවේ බී වාර්තාව වැදගත් කරුණු රැසක් හෙළිදරව් කරයි:

ලලිත් අලහකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දුරකතනයෙන් අමතා "මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්" බව පවසා ඇත. එහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් "මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්" යනුවෙන් පවසා ඇත.

විමර්ශන හෙළිදරව් කරන පරිදි, ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු, පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසට ඇමතුමක් ලබා දී ඇත. ඉන්පසුව ජාතික බුද්ධි ප්‍රධානී එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට ඇමතුමක් ලබා දී ඇත.

කීත් නොයාර්ගේ ජංගම දුරකථනයට සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් දුරකථන අංක පහක් ගමන් කර ඇති බව හඳුනාගෙන ඇත. මරදාන ට්‍රිපොලි යුද්ධ හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් භට පිරිසක්ද අත්අඩංගුවට ගැනිණි.

පැහැරගෙන යන අතරතුර තමන්ට පහර දුන් බවත් තමාගේ ලිපිවලට තොරතුරු ලැබෙන්නේ කෙසේද, රහස් මාර්ගවලින් තොරතුරු ලබා දෙන්නේ කවුද, බිරිය හා දරුවන් පිළිබඳව හා බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද විමසූ බවත් මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දී ඇත. පැහැර ගත් අය තම දෑස් බැඳ පැහැරගෙන ගිය ස්ථානයේ අඩ නිරුවත් කර, ජංගම දුරකථන හා මංගල මුද්ද ගත් බවත් පහර දෙන අතරතුරදී එම ස්ථානයේ සිටි අයකුට දුරකථන ඇමතුමක් ලැබුණු පසු ඔවුන් "හරි සර්, හරි සර්" කියමින් කතා කළ බවත් මාධ්‍යවේදියා පවසා තිබේ.

සිදුවීමෙන් අනතුරුව කීත් තෝරා ගත්තේ විදේශගත වීමේ විකල්පයයි. සිදුවීමෙන් පසු කීත් කිසිදා යළි ශ්‍රී ලංකාව තුළ තමන් වෙනුවෙන් සාධාරණය ඉල්ලන ක්‍රියාවලියකට හෝ කිසිදු මාධ්‍ය කටයුතුත්තකට සම්බන්ධ වනු දක්නට නොලැබිණි.

මෙම සිදුවීම මේ වන විට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව භාරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ. ඒ සඳහා නිසි පියවර ගැනීමේ වගකීම ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි. ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත. 2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ කිසිවක් කියවන්නට පාඨකයින්ට අවස්ථාවක් නොලැබිණි. 2008 මැයි 22 වැනිදා කීත් මෙම තත්ත්වයට පත් වූ තීරණාත්මක දිනය වන්නේය. කීත්ගේ තියුණු හෙළිදරව්කිරීම් දරාගත නොහැකිවූ පිරිසක් විසින් කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට දරුණුලෙස වධහිංසා පමුණුවමින් ඔහුගේ මාධ්‍ය භුමිකාවට අවසන් තිත තබන්නේ 2008 මැයි 22 වැනිදාය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka