එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීම සදහා පැවැත්වෙන සාකච්ඡා මැද සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට රනිල් වික්‍රමසිංහ මහතා සජබ නායකත්වයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවට විශාල සැකයක් මේ වනවිට යම් යම් පාර්ශ්වයන් හට මතුව තිබේ.
පසුගිය සතියේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති එජාප සජබ සාම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරයකු මෙන්ම වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීම සම්බන්ධයෙන් මෙම සැකය මතුවී ඇත
මෙම සාකච්ඡාවන් සදහා දෙපාර්ශ්වයෙන් යෝජනා වී තිබූ නියෝජිත කණ්ඩායමට හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළත්ව සිටියේ නැත.
එජාපයෙන් ඊට නම් කොට තිබුණේ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලත්, රුවන් විජයවර්ධනත්, එස්. එච්. සමරතුංගත්ය.
සජබයෙන් ඊට නම් කොට තිබුණේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ය.
මෙම සාකච්ඡා මුල් අදියරේදී කොළඹ තරු පහේ හෝටලයක පැවතියත් අවසන් සාකච්ඡාව පැවැත්වී තිබුණේ සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අයත් කොළඹ නිවසේය.
වෙනදා පැවැති සාකච්ඡාවන්ට දෙපාර්ශ්වයෙන් නම් කෙරුණු නියෝජිතයන් පමණක් ඊට එක්ව සිටියද හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.
හරීන් ප්‍රනාන්දු මහතා යනු සමගි ජන බලවේගය පිහිටුවද්දී එජාපයෙන් ඉවත්ව පැමිණි අයකු වන අතර පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය.
නමුත් හරීන් ප්‍රනාන්දු මහතා පසුව මනූෂ නානායක්කාර මහතා සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූර ලබාගැනීමට කටයුතු කළේය.
ඉන්පසු හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා නිර්දය විවේචනයට ලක් කළ අතර විපක්ෂනායකවරයා පමණක් නොව ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන්ටද ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය.
එමෙන්ම පසුගිය අවුරුදු 2ක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී හරීන් ප්‍රනාන්දු මහතාට දූෂණ චෝදනා රැසක් එල්ලවී තිබූ අතර ඇතැම් ඒවා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයන්ද පැවැත්වේ.
එමෙන්ම සජබය ඇතුළේ මේ වනවිට මතුව ඇති ප්‍රබල මතයක් වී ඇත්තේ කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී ඇති කිසිවකුත් සජබයට එක්කර නොගත යුතු යැයි කියාය.
කෙසේවෙතත් එවැනි පසුබිමක් යටතේ එජාප-සජබ සාකච්ඡා සදහා හරීන් ප්‍රනාන්දු මහතා නියෝජිතයකු ලෙස නම් නොකර තිබියදීත්, අවසන් වරට හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවන්ට ඒ මහතා සහභාගී වීම පිළිබදව බරපතළ ගැටලුවක් මේ වනවිට සජබය පැත්තෙන් මතුව තිබේ.
එමෙන්ම සාකච්ඡාවන් සදහා අනාරාධිතව ඒක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවේ සිටි කිසිවකුත් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ ඊට විරෝධය පළ කිරීමක් සිදුව නොතිබීමද විශේෂ සිදුවීමකි.
ඒ පිළිබදව සජබ සාමාජිකයන්ගෙන් විමසීමේදී ඇතැමුන් සදහන් කොට තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතා සකච්ඡාවන්ට සහභාගී වන බවක් තමන් නොදැන සිටි බවකි.
තවත් සමහරු කියා සිටියේ සජබය විනාශ කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩඵිළිවෙළේ තවත් එක් පියවරක් වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවන්ට එක් කොට ඇති බවකි.
කෙසේවෙතත් පසුගියදා නුවර ප්‍රදේශයේ වික්‍රමසිංහ මහතාට සමීප හිතවතකුගේ නිවෙසක සජබය විනාශ කිරීමේ සාකච්ඡාවක් පැවත්වී ඇති අතර ඊට මෙම සාකච්ඡාවට සහභාගීව සිටි අයකුද සහභාගී වී සිට ඇති බව වාර්තා වී තිබිණ.
ඒ අනුව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සජබ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කොට ඒ වෙනුවට සජබ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවන්ට එක්කොට ඇති බවකි.
-mawratanews