අවසානයේ දී වැළ මදුලු වෙන්නට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකුගේ අත් පා බැඳ අනතුරුව වීඩියෝ කර එම වීඩියෝ සමාජ මාධ්‍යයේ ඔස්සේ සංසරණය වූ පසු මාලිමා ආණ්ඩුවේ පොලිසිය මේ නිවේදනය නිකුත් කළේය.
මේ සිදුවන්නේ කුමක් දැයි අපට පැහැදිලි නැත. එහෙත් ආණ්ඩුව පැනික් වී ඇති ප්‍රමාණය පසුගිය දින කීපය තුළම දැක ගත හැකි විය. සංජීවට වෙඩි තැබූ තැන බලන්නට පැමිණි වටගල සහෝදරයා මාධ්‍ය ඉදිරියේ දෙකොන පූට්ටු කරගත්තේය. අනතුරුව සිය රියදුරු සහෝදරයාට බූරුවා කීවේය. අන්තිමට ඇමති නලින්ද සහෝදරයාට වටගල සහෝදරයාගේ බූරු කතාව වෙනුවෙන් සමාව ගන්නට සිදුවිය.
සැකකරු අත් අඩංගුවට ගැනීමට යන ස්ථානයේ කැමරාවක් දමා තිබිණි. සැකකරු අත් අඩංගුවට ගැනිම කලින් සකස්කළ පිටපතකට අනුව සිදුවී දැයි අපට සිතුනේ එම කැමරාවෙන් වාහනය නැවැත්වීම, සැකකරුගෙන් ප්‍රශ්න කිරීම, ඇතුළු දර්ශන වීඩියෝගතව තිබීමෙනි. අප දන්නා ඉතිහාසය තුළ මේ තරම් ගේමක් දුන් සැලසුමක වෙඩික්කරුවෙක් පෙම්වතිය සමග ෂොපින් කර, පෙම්වතිය හැරලවා රොමෑන්ටික් සමුගැනීමකින් අනතුරුව සැපට සැපේ පැමිණ පැය 08ට පසුව පාලවියේ දී සිනාසෙමින් අත් අඩංගුවට පත්වීමට තරම් ගොබ්බ එකක් වීම අතාර්කකය. එව්වේ ඩමියක් දැයි මේ පිළිබඳ විචාර බුද්ධියක් ඇති මිනිස්සු විමසා සිටියේ එබැවිනි.
පොලිස්පතිවරයාට යැවූ ඇතැම් ඡායාරූප ස්වල්ප වේලාවකින් මාධ්‍යයට ආවේය. ඒ ඡායාරූප සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරිනි. ඇමති ආනන්ද විජේපාල සහෝදරයා පැවසුවේ එම ඡායා රූප AI නිර්මාණයන් බවය. ආණ්ඩුවකට මේ තරම් විකල් විය යුතු සිද්ධියක් වී යැයි අපට නම් හිතෙන්නේ නැත.
මේ ආණ්ඩුව මුහුණ දුන්නේ මේ රටේ ඕනෑම ආණ්ඩුවකට මුහුණ පෑමට සිදුවිය හැකි තත්ත්වයකටය. ඉලක්ක අරමුණක් සහිතව ආයුධයක් ගත් වෙඩික්කරුවෙක් සිවිල් මනුෂ්‍යයින් සහිත ඕනෑම භූමියකට ඇතුළුවුවහොත් සිදුවිය හැකි ඛේදවාචකයක් නැවැත්විය නොහැකි බව අපි අත් දැක ඇත්තෙමු. එල්ටීටීඊ පිස්තෝල කල්ලිය ගැන අත්දැකීම් සහිත මේ රටේ මිනිස්සුන්ට ඒ යතාර්ථය අරුමයක් නොවේ.
එමෙන්ම මේ උසාවියක විත්ති කූඩුව තුළ විත්තිකරුවෙක් ඝාතනය වුන මුල්ම අවස්ථාවත් නොවේ.
වව්ල්කැලේ ඝාතන සිද්ධියේ සැකකාර වීරඟුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ ඔහුගේ මාමණ්ඩිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ දී මරා දැම්මේය. ඒ 90 දශකයේ මුලය. ඒ ඝාතනය කරන්නේ ගම්පහ ඔස්මන්ය.
1994 දී චින්තක අමරසිංහ නම් කුප්‍රකට අපරාධකරු පාතාල වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරට ඉලක්ක විය. නමුත් ඔහු මැරුණේ නැත. 2004 දී ධම්මික අමරසිංහ ඝාතනය වන්නේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 6 දරන ශාලාවේ විත්ති කූඩුව මතදීය. වෙඩික්කරු එන්නේත් නීතිඥයෙක් ලෙස වෙස්වලාගෙනය. ධමිමික අමරසිංහට වෙඩි තබා ඝාතනය කළේය. නමුත් ඔහු පලා ගියේ නැත. තමත් ඔහු බන්ධනාගාරයේය. ගංගොඩවිල උසාවිය තුළ විත්ති කූඩුවේ බොම්බයක් අටවා එහි සිටි සැකකරුවන් සියලු දෙනා ඝාතනය කළ සිද්ධියක් වාර්තා වන්නේ 2005 අවුරුද්දේය. මින් පෙර ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ 2022 අගෝස්තු 05ය. ඒ 2022 දී විත්තිකූඩුව මත සිටි සැකකරුවෙකුට ගල්කිස්ස අධිකරණයේ දී වෙඩි තබනු ලැබුවද වෙඩික්කරුගේ ඉලක්කය වැරදුනේය.
ගණේමුල්ලේ සංජීව ඝාතනය වන්නේ ඒ ආකාරයේම සැලසුමක ප්‍රතිඵලයක් ලෙසය. ආණ්ඩුව වෙනස් වුනාට පාතාලය වෙනස් වී නැත. පාතාලයේ ක්‍රියාකාරීන් වෙනස් වී නැත. පාතාලයට සම්බන්ධ දේශපාලනය සහ අපට නොපෙනෙන පාතාල ආයෝජකයින් වෙනස් වී නැත. එබැවින් රටක ආණ්ඩුවක් මේ ආකාරයේ සිද්ධියකින් හෝ දෙකකින් පැනික් විය යුතු නැත.
ආණ්ඩුවේ නන්නත්තාරවීම කොපමණදැයි අප දකින්නේ ඊයේ පොලිස් අත් අඩංගුවට ගත් සැකකාර අපරාධකරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට තරම් විකල් බව තීව්‍ර වීමත් සමගය.
ඒ සමග ඇතිවන තත්ත්වය අද උදේ ආක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය සාකච්ඡාවේ දී දුටුවෙමු. වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා වැල කෑ පබිලන්ගේ මට්මට පත් වී සිටියේය.
රටේ මිනිස්සු වෙනස් වී ඇති බවත්, දේශපාලනය වෙනස් වී ඇති බවත්, චින්තනය වෙනස් වී ඇති බවත් මිනිස්සු ස්මාට් වී ඇති බවත් කීවේ අනුර සහෝදරයා ය. ඒත් අනුර සහෝදරයාගේ ආණ්ඩුව ඊයේ කළ කුපාඩි වැඩේ ඔයිට වඩා ස්මාට් විදිහට අපට දේශබන්දු ලවා කරගන්න තිබුණි. ඒ ක්‍රමය වෙනස් කිරීමට කැමති වු මා ඇතුළු පිරිසට අනුර සහෝදරයා මෙසේ කීවේය.
දැන් ඒ වෙඩි තබා කළ ඝාතනය මොනතරම් ව්‍යසනයක් තමන් විෂයෙහි ඇති කර ඇති දැයි ජනතාව කරන මේ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවට දැනෙනු ඇතිදැයි නොදනිමි. අද ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේ දී රට ඉදිරියේ ඔවුන් නිරුත්තර කරන ප්‍රශ්න කිරීමකට ලක් වුනේය.
මාධ්‍යය – අපි දැක්කා ඊයෙ කොටහේනේ පුද්ගලයෙකුට වෙඩි තියනවා. ඔව් වෙඩි තැබීම වැරදියි. නමුත් මේ ආණ්ඩුව මෙතෙක් කල් මිනී මැරුවේ නෑ. අරන් ගිහින් ආයුධ පෙන්වන්න ගෙනිහින් වෙඩි තියලා මැරුවෙ නෑ. ඒත ඊයේ රාත්‍රියේ දෙන්නෙක්ව මරලා දාලා තියනවා.
පහුගිය ආණ්ඩුත් මේවා තමයි කළේ. ඊනියා යුක්තිය මෙහෙයුම කියලා දේශබන්දුලා ගෙනිහිල්ලා කලේ මොකක් ද?. බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරලා දැම්මා. මේ ආණ්ඩුව ගෙනාවේ ඒකට නෙමෙයි. මිනිස්සුන්ගේ අභිලාෂය ඒක නෙමෙයි.
අපි කියන්නේ නීතියක් තියනවා. නීතිය ඉදිරියට පමුණුවන්න. ගණේමුල්ල සංජීවගේ ඝාතන සැකකරු අත් අඩංගුවට අරන් නීතිය ඉස්සරහට ගෙනාවේ.
ඔබතුමාලත් හැම අවස්ථාවකම චෝදනා කරනවා පරණ දේශපාලනයට. අපි දන්නවා. මාධ්‍යවේදිනුත් ඒ දේශපාලනයෙන් මැරුවා. ඒකට ප්‍රති උත්තරය නීති විරෝධීව අවනීතිකව කටයුතු කිරීම නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපරාධ නීතීන්ට අනුකූලව කටයුතු කිරීම. ඒකයි අපි කියන්නේ. ඊයේ සිදුවීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. නීති විරොධීව කටයුතු කරන බවක් පේනවා. මේකට හේතුව මොකක් ද කියලා අපට දක්වන්න.
වැඩබලන පොලිස්පතිවරයා ඒ අවස්ථාවේ දී කතා කළේය.
“නීතියේ ප්‍රතිපාදන තියනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න. එය ඔබටත් තියනවා. පොලිස් නිලධාරියෙකුටත් තියනවා. පොලිස් නිලධාරියෙකුට සිවිල් වැසියෙකුට වඩා වැඩි වගකීමක් සහ වගවීමක් තියනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න.”
මාධ්‍ය – “ SC/FR 398/2008 කියන මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා 2023 අප්‍රේල් මස 02 දා ගයිඩ් ලයින් එකක් නිකුත් කළා කියලා උසාවියට භාර දුන්නා. ඒ ගයිඩ් ලයින් එකේ තියනවා සැකකරුවෙක් රැගෙන යද්දි කොහොමද කටයුතු කරන්න ඕන කියලා. සම්පූර්ණ සිදුවීම සැකකාරයා එළියට ගත්ත වෙලේ ඉඳලා වීඩියෝ කරන්න ඕන කියලා. “
“මගේ පළවෙනි ප්‍රශ්නය. දැන් ඒ වීඩියෝ එක එළියට දානව ද?.”
“මේකෙ තියනවා සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම්වත් කරලා ගෙනියන්න ඕන කියලා. ඒ විදිහට ද ගෙනිච්චේ”
“එතකොට මේ ගයිඩ් ලයින් එක පිළිපැද්දා නම් සැකකරුවන්ට පොලිසියේ ආයුධ උදුරා ගන්න වෙන්නේ නෑ. ගයිඩ් ලයින් එක පිළිපැදීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද?. “
“ඔබතුමා කිව්වා විදේශ රටවලින් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා සැකකරුවන් ලංකාවට ගේන්න. එතකොට ලංකාවට ගේන සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නෑ කියලා පිණිවිඩයක් ගියොත් යූ.එන් එක මාර්තු මාසේ රැස් වෙනවා. කොයිවගේ තත්ත්වයක් ඇති වෙයි ද?. “
පොලිස්පතිවරයා කෙටි සුමට උත්තරයක් දුන්නේය.
“මේක ඊයේ රෑ ඇතිවුන සිද්ධියක්. දැනටත් විමර්ශන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ දැනට අනාවරණයක් කරන්න ඉක්මන් වැඩියි කියන එකයි මගේ පිළිතුර. “
මාධ්‍ය – “ ඔබතුමාලා ගෙනාවේ ආර්ථික දේශපාලන සමාජ ප්‍රශ්න විසඳන්න. ඔබතුමාලත් පරණ විදිහ නම් ක්‍රියාත්මක වෙන්නේ. ගිය සිද්ධිය බලන්නකො ඉතින්. අපි දැක්කා අත් අඩංගුවට අරන් පොලිසියෙ අය දුන්න වද. ගැට ගහලා. ඒ හැසිරීම බලන්න. අපරාධකාරයො තමයි. ඒක ඒ ගොල්ල කියනව නේ. නමුත් අපරාධකාරයින්ටත් රජයක් හැටියට සලකන විදිහක් තියනවා නේ.” අප දකින්නේ ආරක්ෂක ලේකම්වරයා පොලිසිපතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා නිරුත්තරවන ආකාරය ය.
මාලිමා ආණ්ඩුවකට අත්වන මෙවන් විපතක් මේ තරම් ඉක්මනින් අප බලාපොරොත්තු වූයේ නැත. අඩුම තරමින් තමන්ට ඇති තුනෙන් දෙකක බලය ඇත්තටම තමන් සතු වන්නේ තමන් අනුමැතිය ලබා ගත් වැඩපිළිවෙළට පමණක් බව දැන් ජනාධිපති සහෝදරයා ඇතුළු සහෝදර මණ්ඩය තේරුම් ගත යුතුය. SC/FR 398/2008 කියන මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා 2023 අප්‍රේල් මස 02 දා සැකකරුවෙක් පිටතට ගෙනයෑමේ දී සැපිරිය යුතු නිර්නායක පද්ධතියක් උසාවියට ඉදිරිපත් කළේ ඒ හුදකලා මානව හිමිකම් නඩුවක් නිසා නොව, ඒ වකවානුවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ජාත්‍යාන්තරව පැමිණි තියුණු පීඩනය වළක්වා ගැනීම සඳහාය.
මේ බලයට මාලිමා ආණ්ඩුව අසිමිත ලෙස ඔවුන් බිය විය යුතු බව මුල්ම දවසේ දි අපි ලියා තැබුවෙමු. බලය ඇත්තේ ආණ්ඩුවේ එක් එක් ආකාරයේ හිපාටුවන්ට නොව, වැඩපිළවෙළ වෙනුවෙන් ප්‍රකාශිත සන්දර්භයටය.
පක්ෂයක කාඩරයෙක් නොවී යහපත් සමාජ අපේක්ෂාවක් සහිතව ජීවිත කැප කළ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ රටේ වූහ. ඔවුන් තෝරා ගත්තේ අනුර කුමාර දිසානායක නොව, අඩු වැඩි වශයෙන් එකඟතා සහිත ඔහු ඉදිරිපත් කළ වැඩ පිළිවෙළය. මේ ආණ්ඩුව ප්‍රකාශිත වැඩපිළිවෙළ මත පැහැරුවේය.
අඩුම ගානේ මේ අණ්ඩුව බලයේ පිහිටුවීම සඳහා සිය සියලුම ජීවිත අපේක්ෂා කැප කළ 3%ක ප්‍රතිශතයෙන් එකෙක්වත් මේ කුපාඩිකම අනුමත කළොත් අනේ ඒ බව රටට දන්වන්න.