එක් හමුදා කඳවුරකින් සොරකම් කළ ගිනි අවි 73කින් 35ක් තවමත් පාතාලයේ සැරිසරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) පැවසුවේය. මේ වනවිට පිට රට හිඳිමින් අපරාධ මෙහෙයවන පාතාල අපරාධකරුවන් 65 දෙනෙක් හඳුනාගෙන ඔවුන්ට රතු වරෙන්තු නිකුත් කළ බව ද ජනාධිපතිවරයා පැවසුවේය. බන්ධනාගාරය තුළ හිඳමින් අපරාධ සිදුකරන පාතාලයින් ගේ ක්‍රියාකාරකම් නැති කිරීමට කටයුතු කරමින් යන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ පාතාලය සහ කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම මේ සමාජයෙන් තුරන් කරන බවට සහතික වෙමිනි. ඒ සම්බන්ධව ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“අපට දෘෂ්‍යමානවෙන ලෝකයට යටින් තාම බරපතල පන්නයේ අපරාධ ලෝකයක් ලංකාවේ තියනවා. අපේ රටේ නමගිය අපරාධකරුවන් විදෙස් රටවල ඉඳන් අපරාධ මෙහෙයවනවනවා. ”
ඒ 65 දෙනෙකුට මේ වනවිට අපි රතු වරෙන්තු අරන් තියනවා. අපි සාකච්චා කරමින් ඉන්නවා ඔවුන් ලංකාවට කැඳවන්න.
“තව කණ්ඩායමක් බන්ධනාගාරය ඇතුළෙ සිට අපරාධ මෙහෙයවනවා. අප ඒ ප්‍රධාන අපරාධකරුවන් එක් මූලස්ථානයකට ගෙනිහින් අපරාධ ඇතුළෙ ඉඳන් මෙහෙයවන්න බැරි තත්ත්වයක් අපි දැන් හදනවා. ඒකට අපි තීරණයක් ගත්තා ආරක්ෂක කවුන්සිලයේ දී.”
“අපේ රටේ හමුදාව ඉතාම නීත්‍යානුකූළ ගෞරවාන්විතව රාජකාරි කරනවා. හැබැයි ඒ ලක්ෂ ගණනක් වන හමුදාවටත් අපකීර්තියට ලක් කරන සිදුවීම් මේ අපරාධ ලෝකයේ තියනවා.”
“එක් හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 73ක් පාතාලයට ගිහින් තියනවා. ඉන් 38ක් හොයාගෙන තියනවා. තව 35ක් අපරාධ කල්ලි අතේ ගැවසෙනවා. මේ ගිනි අවි එකවර එළියට ගිහින් තියනවා. මේ කතාව කියන්නේ හමුදාව පිළිබඳ ගෞරවය විශ්වාසය ඒ ආකාරයෙන්ම තියාගන්න ගමන්… අතලොස්සක් ඉන්නවා මේ වැඩේ වෙන.
මම කියන්නේ නිදැල්ලේ ගිනි අවි සැරිසරනවා. සමහර අපරාධයන්ට සමහර උසස් ආරක්ෂක නිලධාරීන්ගේ සම්බන්ධක් තියනවා. මේ රට අපරාධවලින් ගහණ ඒ අපරාධවලට කොයි වෙලාවෙ කවුරු බිලිවිය හැකිද කියලා හිතන රටක් තමයි. ඒකට අවි ආයුධ තියනවා. ප්‍රහාරය සඳහා පුහුණු කළ කණ්ඩායම් ඉන්නවා. කුඩු ව්‍යාපාරය තියනවා. මුදල් තියනවා.
ඔබ දකින්න ඇති පසුගිය දා දඹුල්ලේ රුපියල් බිලියන 2.8 විශාල මුදල් තොගයක් හම්බවුනා. විශාල මුදල් තියන, කුඩු ජාවාරමේ යෙදෙන, ලෝකයක් මේ පොදු සමාජය යට තියනවා. දැන් මොකක්ද කරන්නේ. මේක නතර කරන්න ඕන. අපට යම් කාලයක් ගතවුනා. පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ව්‍යුහයක් අපි හැදුවා. එම ව්‍යුහය පොලිස් කොමිසමෙන් අනුමත කරන්න ලැබුණා. ඒක අනුමත කළා. පොලිස් දෙපාර්තමේන්තුවෙ නව ව්‍යුහයක් අපි හදලා තියෙන්නේ. ඒ එන ව්‍යුහයේ පාතාලය, කුඩු ක්ෂේත්‍රය මැඩ පැවැත්වීමට අවශ්‍ය ඒකකයන් පිහිටුවලා තියනවා.
ඒ නිසා මේ අපරාධවලින් ගහණ මේ රාජ්‍යය බේරගන්න ඕන. මේ පාතාලය වර්ධනය වෙන්නේ දේශපාලන රැකවරණය යටතේ කියලා පොලිස්පති තුමා කිව්වා. මම ඔබට සහතිකයක් දෙන්නම්. පාතාලය රැක ගන්න දේශපාලනයක් නොකරන බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නැති බවත් ජනාධිපතිවරයා කීවේය.
