gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ පත්කිරීමක් මතභේදයට... අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීම අභියෝගයට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරන ලද මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව මේ වන විට නීති ක්ෂේත්‍රය තුළ කතිකාවතක් මතුවී තිබේ.

පුරප්පාඩුව පැවැති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක ඉකුත් දා පත් කරන ලදී.

එහෙත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව එම පත්කිරීම නීති විරෝධී බව නීතිවේදීහූ පෙන්වා දෙති.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ මානව හිමිකම් ක්‍රියාකාරීකයෙක් සහ නීතිඥවරයෙක් වන නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටින්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම පිළිබඳව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවයි.

“මේ පනතේ 17 වන වගන්තිය තුළින් අධ්‍යක්ෂ ජනරල්වරයාට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඊට අමතරව අදාළ පනතේ 19 (ඇ) වගන්තියේ සඳහන් කර තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලබන පුද්ගලයා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පළපුරුද්දක් හා මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතු බව. නව දූෂණ විරෝධී පනතට මෙම වගන්තිය ඇතුළත් කෙරුණේ ඉතා වැදගත් කාරණාවක් නිසා. මොකද පසුගිය කාලයේ අල්ලස් නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි පසුබෑමකට ලක්වුණා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ ඇතැම් අවස්ථාවල නඩු මෙහෙයවීම සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු පුද්ගලයෙක්. ඒ නිසා නව දූෂණ විරෝධී පනත සකස් කිරීමේ දී එම කාර්යයේ නියැළුණු විද්වත් කමිටුව විසින් තීරණය කර තිබුණා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්වීම් ලබන පුද්ගලයා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව පළපුරුද්දක් සහිත අයෙකු විය යුතු බව. ඒ නිසා තමයි නව පනතට වගන්තියක් ඇතුළත් කරමින් සඳහන් කරන්නට යෙදුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් තෝරා පත් කර ගන්නා පුද්ගලයා අපරාධ නඩු මෙහෙවීම පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පමණ පල පුරුද්දක් හා මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතු බවට. නමුත් අපි දන්නවා දැනට අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කර තිබෙන රංග දිසානායක මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙක්. ඔහු දක්ෂ අවංක මහාධිකරණ විනිසුරුවරයෙක් බවට විවාදයක් නැහැ. එහෙත් වසර 15 ක් අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව එතුමාට පළපුරුද්දක් නැහැ.” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා ඒ අනුව අදාළ පත්වීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කර සිටියේය.

එහෙත් මෙම තර්කය පිළිගත නොහැකි බව නීති විශ්ලේෂකයෙකු මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේය.

“දූෂණ විරෝධී පනතේ 19( ඇ) වගන්තිය යටතේ අල්ලස් කොමිසමට පත් කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ නඩු මෙහෙවීම පිළිබඳව අවම වශයෙන් අවුරුදු පහළොවක පමණ අත්දැකීම් තිබිය යුතු යැයි සඳහන් කර තිබෙන බව ඇත්ත. එහෙත් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කළ කෙනෙක්. මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට පෙර ඔහු මහේස්ත්‍රාත්වරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට නිකම්ම මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වෙන්න බැහැ. මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම සඳහා නීතිඥවරයෙකු ලෙස නඩු මෙහෙයවා අත්දැකීම් ලබා තිබිය යුතුයි. එවැනි අත්දැකීම් සහිත පුද්ගලයකු පමණයි මහේස්ත්‍රාත්වරයකු ලෙස පත්කරනු ලබන්නේ. ඒ නිසා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මහාධිකරණ විනිසුරුවරයෙකු වූ පමණින් ඔහුට අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව දැනුමක් නැහැ කියලා අපට කියන්න බැහැ. සෑම මහේස්ත්‍රාත්වරයෙකුම මුලින්ම නීතිඥවරයෙක්. අනික ඔහු රාජකාරී ඉටුකරනු ලබන්නේ අල්ලස් කොමිසම සතුව සිටින විශාල නීතිඥ මණ්ඩලයකගේ සහාය ඇතිව. ඒ නිසා මේ පත්වීම තුළ වරදක් මට පෙනෙන්නේ නැහැ” යනුවෙන් ආචාර්ය ප්‍රතිමා මහනාමහේවා සඳහන් කර සිටියේය.

රංග දිසානායක මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කර ඇති නිසා ඔහුට පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව මනා දැනුමක් පවතින බවට තවත් පිරිසක් මත පළ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටින්නේ ” එතුමා මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ඉතා හොඳ සේවයක් කර තිබෙන බව ඇත්තක්. එහෙත් මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියෙක් නෙවෙයි. මහේස්ත්‍රාත්වරයෙකුට පැමිණිල්ල මෙහෙයවන කෙනෙකු වෙන්න බැහැ. ඒක වැරදි තර්කයක්.” හෙතෙම කියා සිටියේය.

එම කරුණ ද පිළිගත නොහැකි බව ආචාර්ය ප්‍රතිමා මහනාමහේවා කියා සිටියි.

“මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දිනපතා විශාල අපරාධ නඩු සංඛ්‍යාවක් විභාගයට ගන්නවා. පොලිසිය විසින් අපරාධ නඩු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන අතර එම අපරාධ විමර්ශනයට අවශ්‍ය මග පෙන්වීම් පවා ඇතැම් අවස්ථාවල මහේස්ත්‍රාත්වරු විසින් ලබා දෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු ඉදිරිපත් කරනවා. මේ හරහා මහේස්ත්‍රාත්වරයෙකුට අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව හොඳ දැනුමක් සහ අත්දැකීමක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.” පවසයි.

කෙසේ නමුත් මීට ප්‍රති පක්ෂ තර්කයක් මතු කරන නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටින්නේ අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වීමට ඉඩකඩ තිබෙන බව යි.

“මේ පත්වීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව තිබෙනවා. මේ පත්වීම ගැන සෑහීමකට පත් නොවන ඕනෑම පුරවැසියෙකුට හැකියාවක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න. පසුගිය අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ කනිෂ්ක විජේරත්න මහතාටත් මේ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නඩු පවරනු ලැබුවා. එම නඩුවල ප්‍රධාන නඩු නිමිත්ත වුණේ කණිෂ්ක විජේරත්න මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීම නීති විරෝධී බව.පසුව මෙම නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී කණිෂ්ක විජේරත්න මහතා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළා. එම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ ඔහුට විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කර තිබීම සහ පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව පනතේ සඳහන් ආකාරයේ සුදුසුකම් සපුරා නොතිබීම. ඉතින් එම තත්ත්වය මත කණිෂ්ක විජයරත්න මහතාට ඉල්ලා අස්වෙන්න සිදුවුණා නම් රංග දිසානායක මහතාගේ පත්කිරීම නීත්‍යානුකූලයි කියලා අපි කියන්නේ කොහොමද? ” යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

අල්ලස් කොමිස මේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්කිරීම නීතිය ඉදිරියේ ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇති නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍ර ද අධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමට හැකියාව තිබෙන බව නීතිඥ නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

“අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍රවලට අත්සන් තබා ඒවා අධිකරණයට යොමු කරන්නේ අධ්‍යක්ෂ ජනරල්වරයා විසින්. ඉතින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවූ විට ඔහු විසින් ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍ර ද නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙනවා ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවක්. එම නඩුවට අදාල අධි චෝදනා පත්‍රවලට අත්සන් තබා තිබෙන්නේ ඉල්ලා අස්වූ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න විසින්. ඒ අනුව කනිෂ්ක විජේරත්න අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන නිසා ඔහු විසින් ඉදිරිපත් කළ එම අධි චෝදනා පත්‍රයද නීත්‍යානුකූල නැතැයි සඳහන් කරමින් මේ වනවිට විත්තියේ නීතිඥවරු විසින් අධිකරණය ඉදිරියේ මූලික විරෝධතා මතුකර තිබෙනවා. යම් විදියකින් එම මූලික විරෝධතාව අනාගතයේදී අධිකරණය විසින් පිළිගනු ලැබුවොත් එම නඩුව ප්‍රතික්ෂේප වීමට හැකියාවක් තිබෙනවා. එම නිසා නව අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍ර සම්බන්ධයෙන් ද මෙවැනි තත්ත්වයක් උද්ගතවීමේ අවදානමක් තිබෙනවා.” යනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


– BBC Sinhala
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka