නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සිදුකර පැමිණි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ අතිශය බරපතල විභාග දූෂණය කර එම දූෂණයට එරෙහි වූ තරුණයාට ජීවිතය බේරාගැනීම සඳහා රටින් පිටවීමට සිදුවීමේ අපරාධය සම්බන්ධව විධිමත් විමර්ශනයක් පැවැත්වීම දූෂණයට එරෙහි ජනවරමක් සහිතව බලයට පත් රජයක් කටයුතු නොකර සිටීමට කිසිම සාධාරණ අයිතියක් නොමැති බවය.
නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිට විභාගයේ සියලුම නීති උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික හැසිරීම සම්බන්ධව පරීක්ෂණයක් කර නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබුණේ මීට දින දෙකකට පෙරය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි බවත්, විභාග ආරම්භයේදි ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතු පරිසරයක සිදුකළ මෙම විභාග අකටයුත්ත සම්බන්ධව ප්‍රශ්න කළ තමන්ට අවසන් වසර නීති විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් පැමිණිලිකරු එම සටහනේ සඳහන් කර තිබිණි.
එමෙන්ම ඔහු පවසන්නේ මේ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි අගවිනිසුරුටත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කාර්යාල කළමනාකරු (office manager) ලෙස කටයුතු කළ පුද්ගලයා එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් තම ජංගම දුරකථනයට කතා කර මරණීය තර්ජන එල්ල කළ බවය.
මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම තමන් පැහැර ගැනීමට ලක් වු බවත්, තමන්ගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද බවත් වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකින් දිවි බේරාගත් බවත් කියන පැමිණිලිකරු අවසානයේ දී රටත් හැර යන්නට සිදුවූ බව ද කියයි. මේ සිදුවීම් නිසා තමන් රෝගයෙක් මෙන්ම සරණාගතයෙක් ද බවට පත් කර ඇති ආකාරය සම්බන්ධව ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.