අද (30) දින වනවිට ක්‍රමයෙන් පහළ යමින් ඇතැයි පුරෝකථනයවන අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම තවදුරටත් ජන ජීවිතය මත බලපෑම් කරමින් තිබේ.
මේ වනවිට බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 141268කි. වින්දිත පුද්ගලයින් ප්‍රමාණය 475000කි. මරණ 15ක් දක්වා වැඩි වී තිබේ. අම්පාරේ කාර්තිව් අනතුරින් අතුරුදහන් වූ දරුවාගේ මළ සිරුර තවමත් සොයාගෙන නැත. අර්ධ නිවාස හානි 42565කි. පූර්ණ නිවාස හානි 101කි. තවමත් අවතැන් කඳවුරු 266ක් තුළ පවුල් 9937ක, පුද්ගලයින් 32361ක් රැඳී සිටිති.
ඊයේ පස්වරු 11.30වනවිට ෆෙන්ගල් සුළි කුණාටුව ත්‍රී කුණාමලයට කිලෝමීටර 360ක් පමණ උතුරින් සහ කන්කසන්තුරේට කිලෝමීටර 280ක් පමණ ඊාසාන දෙසින් ස්ථානගතව තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද සවස් කාලයේ දි කුණාටුව උතුරු තමිල්නාඩු පුදුවෙරී වෙරළ වෙත ලඟා වනු ඇති බවය. පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවත්, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක තරමක වැසි සහ පැයට කිලෝමීටර 50-55 අතර තද සුළඟක් අපේක්ෂා කෙරේ. උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත්, මධ්‍යම කඳුකරයටත් දකුනු පළාතටත් මෙම තද සුළඟ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි.
සබරගමුව පළාතටත් මහනුවර නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර වයඹ සහ උතුරු මැද පළාත්වලටත් වැසි වාර කීපයක් අපේක්ෂා කරයි.
මේ වනවිට නායේ යෑම පිළිබඳ රතු නිවේදන ඉවත්වී තිබේ. බදුල්ල නුවර,කෑගල්ල, කුරුණෑගල මාතලේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 42ක් සඳහා වදානම් මට්ටමේ නිවේදන ද කොළඹ, ගම්පහ, නුවර,කෑගල්ල, කුරුණෑගල මාතලේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට විමසිලිමත්වීමේ නිවේදන ද තවමත් බලාත්මකය.
දැදුරුඔය, පේරාරු, පොල්ගොල්ල, උල්හිටිය රත්කිඳ නාච්චදූව, රාජාංගනය, කලාවැව, වෙහෙරගල ජලාශවල තවමත් වාන් දොරටු විවෘත වී ඇත.
කලා ඔය ද්‍රෝණිය, මල්වතු ඔය ද්‍රෝණිය, සඳහා ගංවතුර පිළිබඳ පළමු මට්ටමේ නිවේදනයක් ද, හැඩ ඔය ද්‍රෝණිය, මහවැලි ගඟ ද්‍රෝණිය, මුන්දෙනි ආරු ද්‍රෝණිය සඳහා දෙවැනි මට්ටමේ ගංවතුර අනතුරක් පිළිබඳ නිවේදනයක් ද දැදුරු ඔය ද්‍රෝණිය සම්බන්ධව ගංවතුර අධි අවදානම් නිවේදනයක් ද නිකුත් වී තිබේ.