චරිත් අබේසිංහ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් අංක 3න් තරඟ කරනවා. ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම බොහෝ දෙනෙක්ගෙ අවදානයට ලක් වුණු එකක්. රටේ සංවර්ධනය ගැන අංශ 6ක් යටතේ චරිත් මෙම වීඩියෝවලින් අදහස් දක්වනවා. තරුණ, නවක දේශපාලකයෙක් විදියට චරිත්ගේ මේ ප්‍රවේශය ආදර්ශමත් එකක් විදියට පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ පවා අවදානය යොමු වෙලා තිබුණා.
චරිත්ගේ මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුමේ අවසන් වීඩියෝව ඔහුගේ මෙතෙක් ගමන්මග ගැන කෙටි සාරාංශයක් ඉදිරිපත් කර තිබුණා. වසර 25ක් කලාවෙන් කළ දේශපාලනයෙන් ඔබ්බට යමින් මහපොළවේ දේශපාලනයට එකතු වීමට තමන් බලාපොරොත්තු වන බව චරිත් මෙහිදී සඳහන් කරනවා.
චරිත් දේශපාලනයට පැමිණීම ගැන විවේචනය කරපු සමහරු මතු කරපු කාරණේ තමයි චරිතට මොනවද තියන සුදුසුකම් කියන එක. චරිත් ජාත්‍යන්තර සරසවි කිහිපයකින් උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරූ කෙනෙක් බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක්.
“මගේ විෂය මාධ්‍ය හා සන්නිවේදනය. ඒ සම්බන්ධයෙන් මට එක්සත් රාජධානියේ බකින්හැම්ෂර් සරසවියෙන් මූලික උපාධියක් සහ මෙක්සිකෝවේ මොන්ටෙරි සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියක් තියෙනවා. ඒ වගේම මම දැනට බකින්හැම්ෂර් සරසවියේ නීතිවේදී උපාධිය හදාරමින් සිටින අවසන් වසරේ නීති ශිෂ්‍යයෙක්.”
යනුවෙන් චරිත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අදහස් පළ කළා.
තමන් තරඟකාරී වෙළඳපොළ මූලික කරගත් දක්ෂිණාංශික මතවාදයක් විශ්වාස කරන බවත් චරිත් මෙහිදී සඳහන් කරනවා. රට මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් එවැනි නව ලිබරල්වාදී ආර්ථික රාමුවක් තිබීම අත්‍යවශ්‍ය බව සඳහන් කරන චරිත් තමාගේ මතවාදයට සුදුසු කඳවුරක් තෝරාගත් බවත් ප්‍රකාශ කරනවා.
ඔහුගේ දේශපාලන දැක්ම පැහැදිලි කරන කෙටි වීඩියෝ 6ක් චරිත් අබේසිංහ Youtube නාලිකාවේ පළ කර තිබෙන අතර මේ යටතේ දේශපාලනය, තාරුණ්‍යය, ව්‍යවසාය, ශ්රමබලකාය, කාන්තාව සහ කලාව යන මාතෘකා ඔස්සේ මෙම වීඩියෝ මාලාව ඉදිපත් කොට තිබෙනවා.
මැතිවරණ කාල සීමාව තුළ චරිත් මුහුණ දුන් ප්‍රධානතම චෝදනාවක් වූයේ ඔහු එක්සත් රාජධානියේ වසර 7ක කාලයක් සිරගතව සිටි බවට එල්ල වූ චෝදනාවයි. නමුත් එය පදනම් විරහිත චෝදනාවක් බවට පැමිණිල්ලක් ගොනු කරමින් චරිත් මැතිවරණ කොමිෂන් සභාවට සහ සයිබර් හදිසි ප්‍රතිචාර ඒකකයට පැමිණිලි ගොනු කර තිබුණා. මේ පැමිණි සැලකිල්ලට ගෙන එම වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට නියම කොට තිබූ අතර මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව ද චරිත් සඳහන් කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ 58%ක් පමණ වන බහුතර ඡන්ද දායකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට සාධාරණයක් සිදු විය යුතු බව තරයේම විශ්වාස කරන චරිත්, මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ජන මතය එක් ශක්තිමත් ජන වරමක් තුළින් නියෝජනය කිරීමේ වැදගත්ම පෙන්වා දෙන්නේ සුළුතර බලයකින් පැමිණි විධායකයේ තීරණ බහුතර ජනතාවට හිතකර වන අයුරින් මෙහෙයවා ගත යුතු බව සඳහන් කරමින්.
අවසාන වශයෙන් චරිත් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ දේශපාලන බොරුකාරයන්ට ඉඩක් ලබා නොදෙන ලෙසයි.
“අපිට හොරු එපා නම්, බොරුකාරයොත් එපා කියන එක මං හිතනවා මේ වෙලාවේ අපිට පුරවැසියෝ විදියට පාලකයන්ගෙන් කරන්න පුලුවන් ඉතාමත් කාලීන ඉල්ලීමක්. හොරකම් කරලා මේ රට බංකොලොත් වෙන තැනට වැඩ කරපු පිරිස රටේ ජනතාව විදියට ඔබ දේශපාලනයෙන් ඉවත් කරලා තියනවා. ඒ වගේම තමන්ගෙ අසාර්ථකත්වය බොරුවෙන් වහන්න හදන බොරුකාරයන්ටත් මේ රටේ දේශපාලනය තුළ ඉඩක් දෙන්න එපා කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා.”