අප හමුවේ ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් සාම්ප්‍රදායික හමුදා චින්තකයකයෙකුගෙන් ඔබ්බට සිතිය හැකි නායකයින් අවශ්‍ය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරයි.
ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය (18) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී වී එලෙස අදහස් දැක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ,
“වර්තමානයේ අප සාම්ප්‍රදායික හමුදා අභියෝග මෙන්ම, සයිබර් ආරක්ෂාව හා සබැඳි තර්ජන, දේශගුණික විපර්යාස ගැටළු, ආර්ථික සුරක්ෂිතතාවය සහ තොරතුරු තාක්ෂණය ඔස්සේ යුද්ධය සමඟ ජේදනය වන පරිවර්තනීය යුගයක ජීවත් වෙමින් සිටින්නෙමු.
ඉන්දියන් සාගර කලාපය හරහා වැටී ඇති ගෝලීය සමුද්‍ර වාණිජ්‍යය සහ උපාය මාර්ගික තරඟකාරී මාර්ගයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. ඒ අනුව, අප රට හමුවේ ඇති ඉදිරි අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට සිතිය හැකි සහ නවීන ආරක්ෂක අභියෝග වල බහුමාන ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍ය වේ.
එළඹෙන වසරේ සිට ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් අංශයේ නිලධාරීන්ට ද, දොරටු විවර වීමට අපේක්ෂිත බැවින්, ඒ ඔස්සේ සැලකිය යුතු පරිවතනයකට ලක් වනු ඇති බවයි. ජාතික ආරක්ෂාව යනු සාමූහික වගකීමක් වන අතර, ඒ සඳහා සියලු පරිපාලන අංශවල මැදිහත්වීමක අවශ්‍යතාවය මෙම වැදගත් තීරණය ඔස්සේ පිළිබිඹු වේ.
එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අමාත්‍යාංශ වල රාජ්‍ය නිලධාරින් හට ඔවුන්ගේ නියෝජිතායතන අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමටත් ජාතික ආරක්ෂාව සඳහා සාකල්‍ය ප්‍රවේශයක් පෝෂණය කිරීමටත් අවස්ථාව ලැබේ.”