හිටපු ජනාධිපතිවරුන්ගේ මූලික නඩත්තු වියදම් සඳහා වාර්ෂිකව පොලිසිය විසින් දරන පිරිවැය පමණක් රුපියල් අනූ තුන් කෝටි, තිස් ලක්ෂ තිස් පන් දහස් නවසිය හැට හයක් ( රුපියල් 93,30,35,966 ) බව හිටපු ජනාධිපති ආරක්ෂ කොට්ඨාස විසින් වාර්තා කර තිබේ.
මෙම මූලික ආරක්ෂක වියදම්වලට නිලධාරීන් වෙනුවෙන් දරන විදුලි, ජල, ප්‍රවාහන සහ නවාතැන් අතුළු වෙනත් වියදම් ද එකතුවන විට එම මුදල රුපියල් මිලියන 1100ක් එනම් කෝටි 110ක් දක්වා ඉහළ යන බව එම වාර්තාවල සඳහන්ව ඇත.
චන්ද්‍රිකා – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය පමණක් නව කෝටි අසූ අට ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හැට හයයි ශත තිස් හතරකි. ඇය වෙනුවෙන් ජීප් රථ දෙකක්, යතුරුපැදි 05ක්, කාර් රථයක් සහිතව සමස්ථ වාහන 08ක් වෙන් කර ඇත. ඊට අමතරව මාසිකව ඩීසල් ලීටර 500ක්, පෙට්‍රල් ලීටර 495ක් වෙනුවෙන් රජය වෙළෙඳපළ මිල අනුව මේ වනවිට මාසිකව රුපියල් දෙලක්ෂ අනූ පන් දහස්, හාරසිය හතලිස් පහක පිරිවැයක් දරයි. ඇය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 57ක් සේවයේ යොදවා තිබේ.
මහින්ද – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීම සඳහා පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය රුපියල් තිස් දෙකෝටි හැට පන් ලක්ෂ අසූ දෙදහස්, අටසිය 19යි ශත අනූ දෙකකි. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජීප් රථ 05ක්, යතුරුපැදි 04ක්, ත්‍රීවිල් රථ 02ක්, බස් රථ 02ක්, කාර් රථ 01ක්, වෑන් රථ 01ක්, සහ ඩබල් කැබ් 03ක් ඇතුළු රජයේ වාහන 18ක් වෙන් කර ඇත. ඔහු වෙනුවෙන් මාසිකව ඩීසල් ලීටර 1770ක්, සහ පෙට්‍රල් ලීටර 829ක් ද සුපිරි ඩීසල් ලීටර 200ක් වෙන් කර ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවෙත මාසිකව ගෙවනු ලබන ඉන්ධන බිල අට ලක්ෂ විසි දෙදහස් පන්සිය විසි නවයකි. ඔහු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 187ක් සේවයේ යොදවා ඇත. ඔහු වෙනුවෙන් පොලිසිය පමණක් දරන පිරිවැය මාසිකව කෝටි දෙක හමාරක් ඉක්මවයි.
මෛත්‍රීපාල – මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා පොලිසිය වාර්ෂිකව දරන වැය බර දහ අට කෝටි පනස් එක් ලක්ෂ හැට හය දහස් පන්සිය තිස් පහකි. ඔහු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 113ක් වෙන් කර ඇත. ඒ ජිප් රථ 04ක්, යතුරුපැදි 06ක්, ත්‍රීවිල් රථයක් සහ බස් එකක් ලෙස වාහන 12ක් සමගිනි. ඔහු වෙනුවෙන් ඩීසල් ලීටර 2000ක්, පෙට්‍රල් ලීටර 500ක්, සුපරි ඩීසල් ලීටර 250ක් ලෙස ඉන්ධන සඳහා මාසිකව රුපියල් අට ලක්ෂ එක් දහස් දෙසීයපනහක වැය බරක් පොලිිසිය දරයි.
ගෝඨාභය – පළවා හළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ද පොලිසිය වාර්ෂිකව තුන් කෝටි අනූ එක් ලක්ෂ හතලිස් එක් දහස් හාරසිය අසූ අටක් වියදම් කරයි. ඔහුට ජිප් රථයක්, යතුරුපැදි දෙකක් අතුළු වාහන 03ක් ද ඩීසල් ලීටර 400ක් සහ පෙට්‍රල් ලීටර දෙසීයක් වෙනුවෙන් මාසිකව රුපියල් එක් ලක්ෂ අසූ තුන් දහස් එකසිය හැත්තෑ පහක මිලක් ද දරයි. පොලිස් නිලධාරීන් 22ක් ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබේ.
හේමා – මිය ගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිය මෙන්ම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව නඩත්තු කිරීමට ද පොලිසිය වාර්ෂිකව දෙකෝටි අනූ අට ලක්ෂ හැත්තෑ අට දහස් අටක මුදලක් වියදම් කර තිබේ. ඇයට ජීප් රථයක් සහ යතුරුපැදියක් සමග වාහන 2ක් ද පෙට්‍රල් ලීටර 37ක් සහ ඩීසල් ලීටර 225ක් ලෙස ඉන්ධන වෙනුවෙන් මාසිකව රුපියල් අසූ තුන් දහස් හයසිය හැත්තෑ දෙකක් ද පෙලිිසය විසින් වියදම් කරමින් සිටී. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17 දෙනෙකි.
රනිල් – මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් පසු පොලිසිය වාර්ෂිකව වැඩිම තක්සේරුගත වැයක් දරන්නට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි. ඔහුට ජීප් රථ දෙකක් සහ ඩීසල් ලීටර පන්සිය දහයක් වෙන් කර තිබේ. මාසික ඉන්ධන පිරිවැය එක් ලක්ෂ හතලිස් හතර දහස් තුන්සිය තිහකි. පොලිස් නිලධාරීන් 151ක් ඔහු වෙනුවෙන් සේවයේ යොදවා ඇත. ඔහු වෙනුවෙන් පොලිසිය වැයකිරීමට තක්සේරු කරන වාර්ෂික පිරිවැය රුපියල් විසි පන් කෝටි, තිස් තුන් ලක්ෂ, අනූ පන් දහස්, දෙසීය හතලිස් නවයකි. එනම් මාසික ආරක්ෂක පිරිවැය ලෙස පොලිසිය විසින් දරන වියදම පමණක් රුපියල් කෝටි 2ක ඉක්මවා යන්නේය.
පොලිසිය හිටපු ජනාධිපතිවරුන් 06 දෙනාගේ ආරක්ෂාව වෙනුවේන දළ වශයෙන් මිලියන 1100ක් වියදම් කරන විට සමස්ථ පොලිස් නිලධාරීන් එක් ලක්ෂ දස දහසක ප්‍රමාණයක සෞඛ්‍යය වෙනුවෙන් පොලිිසය දරන්නේ රුපියල් මිලියන 1500ක වියදමක් පමණක් බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මෙම කෝටි 110 එනම් මිලියන 1100 හිටපු ජනාධිපතිවරුන්ට වැය කරන්නේ පොලිසියෙන් පමණක් බවත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව දරන වැය බර මීට ඇතුළත් නොවන බවත් සැලකිය යුතුව තිබේ.